ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත නාවික හමුදාව විසින් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් කැකිරාව බෝධිමළු රජමහා විහාරස්ථානයේ සහ මහියංගනය ගල්බොක්ක ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් පසුගිය දිනයන්හිදී ජනතා අයිතියට පත් කෙරිණි.

ඒ අනුව, බෝධිමළු රජමහා විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේලා 5 නමක්, දහම් පාසල් ළමුන් 75 ක් සහ ප්‍රදේශයේ පවුල් 350ක් සඳහා පිරිසිදු පානීය ජලය ලබා දීමට හැකියාව උදා වී ඇත. මෙම ජල පිරිපහදු යන්ත්‍රය, බුද්ධ ශාසන අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත ස්ථාපිත කර ඇති අතර, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් ඒ සඳහා අවශ්‍ය ගොඩනැගිල්ල ඉදිකරන ලදී.

එමෙන්ම ගල්බොක්ක ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපනය කරන ලද ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම පාලසේ සිසු දරු දැරියන් 50 දෙනෙකු, ගුරුවරුන් 6 දෙනෙකු සහ ප්‍රදේශයේ පවුල් 150 ක් සඳහා පිරිසිදු පානීය ජලය ලබා දෙනු ලබයි. ඒ සඳහා ජනාධිපති වකුගඩු නිවාරණ කාර්ය සාධන බලකායේ මූල්‍ය අනුග්‍රහය ලබා දී ඇත. ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ නාවික සිවිල් ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ සහ නාවිකයින්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් එම ජල පිරිපහදු යන්ත්‍රය සඳහා අවශ්‍ය ගොඩනැගිල්ල ඉදිකර දී ඇත.

වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින මෙවැනි ප්‍රදේශයන් සඳහා ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර වල පවතින දැඩි අවශ්‍යතාවය සැලකිල්ලට ගත් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්‍ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙම ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීමට කටයුතු කරනු ලබයි. මේ දක්වා මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 133 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 57,606 කට හා පාසැල් දරු දැරියන් 45,225 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.