පාකිස්තානයේ පැවති වැදගත් අවස්ථාවන් 2ක් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
 

පාකිස්තානයේ නිල සංචාරයක නිරත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (12) අමාන් ජාත්‍යන්තර සාගරික අභ්‍යාසය - 2017 ට සමගාමීව පවත්වනු ලැබූ 7 වන ජාත්‍යන්තර සාගරික සමුළුව, ජාත්‍යන්තර ආරක්ෂක සේවා තූර්ය වාදක සංදර්ශණය සහ සාගරික ත්‍රස්තවාදය පිටුදැකීමේ අභ්‍යාසය යන ජාත්‍යන්තර වශයෙන් වැදගත් අවස්ථාවන් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

එම අවස්ථාවන්ට සහභාගී වීමට ප්‍රථම නාවික හමුදාධිපතිතුමන්, පාකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් මොහොමඩ් සඛාඋල්ලා මහතා හමුවී සුහද පිළිසඳරක ද නිරත විය. ඉන් අනතුරුව පාකිස්තානු නාවික හමුදාධිපතිතුමන් විසින් වයිස් අද්මිරාල් රවීන්ද්‍ර ‍විජේගුණරත්න මහතා එදිනට පැවැත්වීමට නියමිතව තිබූ අනෙකුත් උත්සව අවස්ථාවන් සඳහා කැදවාගෙන යන ලදී.

එදින ප්‍රථම අංගය වශයෙන්, මෙම අභ්‍යාසයන් සඳහා සහභාගී වීමට පැමිණි රටවල ආරක්ෂක හමුදාවන්ගේ අනන්‍යතාවය විදහා දැක්වීමේ තූර්ය වාදක සංදර්ශණයක් පැවැත්විය. එමගින් එක් එක් රටවල හමුදාවන්ට ආවේනික වූ සංස්කෘතික අංගයන් මනාව පිළිබිඹු වූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මෙන්ම පාකිස්තානු යුද, නාවික සහ ගුවන් හමුදාවන් නියෝජනය කරමින් ද  තූර්ය වාදක කණ්ඩායම් රැසක් සහභාගී වී සිටියහ. ඔවුන් ප්‍රදර්ශණය කළ තූර්ය වාදක සංදර්ශණය ඉතා වර්ණවත් වූ අතර, පැමිණ සිටි පිරිස එය ඉතා ඉහලින් අගය කරන ලදී.

ඉන් අනතුරුව සාගරික ත්‍රස්තවාද පිටුදැකීමේ අභ්‍යාසය පැවැත්වූ අතර, ඒ සඳහාද පාකිස්තානය ඇතුළු අනෙකුත් රටවල නාවික හමුදාවන් සහභාගී විය. මෙම අභ්‍යාසය කරච්චියේ මැනෝරා දූපත ආශ්‍රිත වෙරළ තීරයේදී පැවැත්වූ අතර, එහිදී මේ සඳහා එක්වූ පාකිස්තානය සහ අනෙකුත් රටවල් නියෝජනය කළ විශේෂ මෙහෙයුම් බලකායන්ට අනුයුක්ත සාමාජිකයින්ගේ විශිෂ්ඨ මෙහෙයුම් හැකියාව සහ වෘත්තීමය නිපුණත්වය මනාව පිළිබිඹු විය. තවද, සාගරික ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ ක්‍රියාකාරකම්, විශේෂ බලකායන්ටම ආවේනික වූ ක්‍රියාන්විතයන් මෙන්ම ඔවුන් සතු වෘත්තීමය හැකියාවන් හුවමාරු කර ගැනීමට ද මෙම අභ්‍යාසය මහත් පිටුවහලක් විය.

තවද, පෙබරවාරි 11 වන දින සිට 13 වන දින දක්වා කරච්චි නුවර බාරියා විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිත 7 වන ‍ජාත්‍යන්තර සාගරික සමුළුවේ ප්‍රථම අධියර ඊයේ (11) සාර්ථක ලෙස නිමාවට පත් විය. මෙහි විශේෂත්වය වූයේ රටවල් 35 කට අධික නාවික ප්‍රධානීන්, සුප්‍රසිද්ධ දේශකවරුන් සහ ලොව නන්දෙසින් පැමිණි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් එක්ව සිටීමයි.

පාකිස්තානු නාවික හමුදාධිපති තුමා හමුවීම

ජාත්‍යන්තර ආරක්ෂක සේවා තූර්ය වාදක සංදර්ශණය සහ සාගරික ත්‍රස්තවාදය පිටුදැකීමේ අභ්‍යාසයට සහභාගී වීම

7 වන ‍ජාත්‍යන්තර සාගරික සමුළුවට සහභාගී වීම