228 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 313 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 228 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 313 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (11) විසිර යන ලදී. පූනෑව, ශ්‍රීලංනානෞ ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති එම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය. උතුරු මැද  නාවික විධාන නියෝජ්‍ය ආඥාපති කොමදෝරු සුනිල් සේනාරත්න මහතා ඇතුලු ‍ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයින් රැසක්ද, ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ උසස් නිළධාරීන් මෙන්ම විසිර ගිය නාවිකයින්ගේ දෙමාපියන්ද සහභාගීවි සිටියහ.

ඉතා ආකර්ශණිය සරඹ සංදර්ශණයකින් සමන්විත වූ මෙම විසිරයාමේ පෙළපාලියේදී තම මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ නාවිකයින් ඇගයීමට ලක්කරනු වස් කුසලාන ප්‍රධානෝත්සවයක්ද සිදු කෙරිණි. එහිදී 228 වන බඳවා ගැනීමේ විශිෂ්ඨතම ආධුනික නාවිකයා වශයෙන් ආධුනික නාවික කේඩබ්ඩීඑස් දයානන්ද කුසලාන හිමි කර ගන්නා ලදී. සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නාවිකයා ලෙස ආධුනික නාවික කේජීසීජීඩී ප්‍රේමසිරි කුසලාන හිමිකර ගත් අතර, ආධුනික නාවික ඊඑම්පීඩී ඒකනායක හොඳම ඉලක්කකරුට හිමි කුසලානයට හිමිකම් කීවේය. මීට අමතරව ආධුනික නාවික ජීඒඑච්පී කුමාර හොඳම ක්‍රීඩකයාට හිමි කුසලාන දිනාගත් අතර, බඳවා ගැනීමේ දක්ෂතම අංශය ලෙස උදාර අංශය තේරී පත්විය.

විසිර යන නාවිකයින් ඇමතූ රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මූලික පුහුණුව නිමා කරමින් අද දින විසිර යන 228 වන බඳවා ගැනීමට අයත් නාවිකයන්ගේ මෙම විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වීමට අවසර ලබා දීම පිළිබඳව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හට සිය ස්තුතිය පුද කර සිටියේය. මීට මාස 6 කට පමණ පෙර මෙම ආයතනයට ඔවුන් පැමිණි ආකාරයත් අද දින මෙම සරඹ පිටියෙන් ඔවුන් විසිර යන ආකාරයත්, පිළිබඳව සිහිපත් කර ගන්නා ලෙසත් ප්‍රකාශ කළ එතුමා ඔවුන් සියළු දෙනාම නික්ම යනු ලබන්නේ අභිමානවත් මෙන්ම මහ සයුර ජයගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයන් බවට පරිවර්ථනය වීමෙන් බව වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටින ලදී.

තවද, දිනෙන් දින දියුණු වන නාවික ක්ෂේත්‍රය පිළිබඳව අවධානයෙන් සිටිමින් නාවික හමුදාව මගින් ලබා දෙනු ලබන පුහුණු අවස්ථාවන් වලට මෙන්ම ස්වෝත්සාහයෙන් තම දැනුම වර්ධනය කර ගනිමින් තම මානසික සහ ශාරීරික ශක්තිය පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය කරුණක් බවත් සඳහන් කරන ලදී. ජීවිත පරිග්‍යාගයෙන් අප ලබා ගත් නිදහස හා මාතෘ භූමියේ ස්වෛරීභාවය රැක ගැනීමට ඔබ සියළුදෙනා කැපවිය යුතු බවත්, අද දින විසිර යන නාවිකයන් 313 දෙනා වන ඔබ නාවික හමුදාවේ අනාදිමත් කාලයක සිට පැවත එන අභිමානවත් සම්ප්‍රදායන් රැකගනිමින් අභියෝග ඉදිරියේ නොසැලෙමින් විනයගරුක, කාර්යක්ෂම නාවිකයන් සහ යහපත් පුරවැසියන් ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා එක් කෙරිණි.   

මෙම දේශයට මෙන්ම නාවික හමුදාවට තම දරුවන් පරිත්‍යාග කිරීමට දෙමාපියන් වශයෙන් ඔබ ගත් තීරණය පිළිබඳව සිය ගෞරව පූර්වක ස්තුතිය පිරිණමන බව එතුමා වැඩිදුරටත් සඳහන් කරන ලදී. මෙම නාවිකයන් පුහුණු කිරීම් මෙන්ම මෙම විසිර යාමේ පෙළපාලිය සාර්ථක කර ගැනීම සඳහා මගපෙන්වීමෙන්, ඉමහත් කැපවීමෙන් කටයුතු කළ පුහුණු ආයතනයේ ආඥාපතිතුමා ප්‍රධාන කාර්යය මණ්ඩලයටත්, පුහුණු විධායකතුමන් ඇතුළු නිලධාරී මණ්ඩලයටත්, නන් අයුරින් සහයෝගය දැක්වූ නාවික හමුදා මූලස්ථානයේ කාර්යය මණ්ඩලයන් සහ උතුරු මැද නාවික විධානයේ සියළුම ආයතනයන්හි අණදෙන නිලධාරීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හට සිය හෘදයාංගම ස්තුතිය පිරිනමන බැව් එතුමා අවසන් වශයෙන් ප්‍රකාශ කර සිටියහ.