නාවික හමුදාධිපතිතුමන් පාකිස්තානු යුද හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (16) පාකිස්තානයේ ඉස්ලාමාබාද් හිදී එරට යුද හමුදාධිපති, ‍ජෙනරාල් ඛුමාර් ජාවෙඩ් බජ්වා මහතා හමුවිය.

නාවික හමුදාධිපතිතුමා අමාන් නාවික අභ්‍යාසය 2017 හි ප්‍රධාන ආරාධිතයෙක් වශයෙන් එක්වී සිටි අතර, එම අභයාසය පසුගිය 14 වන දින කරච්චි හිදී සාර්ථක ලෙස නිමාවට පත් විය.

මෙම හමුවේදී පාකිස්තානු යුද හමුදාධිපතිතුමා කලාපීය ආරක්ෂාව වෙනුවෙන් වැදගත් වූ කරුණු රාශියක් පිළිබඳව නාවික හමුදාධිපතිතුමා සමග සුහද කථාබහක නිරත වූ අතර, ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාකාරකම් වලදී පාකිස්තානු යුද හමුදාව විදහා දැක්වූ කැපවීම වයිස් අද්මිරාල් විජේගුණරත්න මහතාගේ පැසසුමට ලක් විය. තවද, ඉදිරියේදීත් කළාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම උදෙසා ශ්‍රී ලංකා නාවික හමුදාවේ උපරිම දායකත්වය ලබා දෙන බවට එහිදී නාවික හමුදාධිපතිතුමන් ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම නාවික හමුදාධිපතිතුමන් පසුගිය බදාදා (15) පාකිස්තානයේ ලාහෝර් නුවර පිහිටි යුද පුහුණු පාසලේ විශේෂ ආරාධිතයෙකු වශයෙන් දේශණයකට ද සහභාගී විය.