ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ස්ථාපිත කෙරේ
 

නාවික හමුදාව විසින් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහන්හි වැදගත් කර්තව්‍යයක් වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර පිරිසිදු පානීය ජලය මහජනතාවට නොමිලේ ලබාදිමේ වැඩපිළිවෙලෙහි තවත් එක් සංදිස්ථානයක් සනිටුහන් කරමින් පසුගිය දිනයන්හි දී ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ස්ථාපනය කෙරිණි.

ඒ අනුව, මෙම ජල පිරිපහදු යන්ත්‍රයන්හි උසස් නිමාව සහ ගුණාත්මක බව හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලීම මත අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හට පිරිසිදු පානීය ජලය ලබාදීම සදහා එම කාර්යාලයේ ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපනය කරන ලදී. තවද, නාවික හමුදා‍ව මගින් ප්‍රථම වරට නිෂ්පාදනය කරන ලද ජංගම ජල පිරිපහදු යන්ත්‍රයේ දෙවන නිෂ්පාදනය හදිසි තත්ත්වයකදි සිවිල් ජනතාවට සේවාවන් සැපයිම සදහා නාවික හමුදා මැරීන් බලකාය වෙත ලබාදීමට කටයුතු කරන ලදී. එමෙන්ම, ගිණිකොන නාවික විධානයට අයත් පානම පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ ද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපනය කෙරිණි. එමගින් එම ආයතනයේ රාජකාරී නියුතු නිලධාරීන් සහ නාවිකයින් 1461 ක් සදහා සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීමට අවස්ථාව උදා වී ඇත.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ස්ථාපිත කරන ලද වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායේ මගපෙන්වීම යටතේ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සෘජු අධික්ෂණය යටතේ වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශයන් හි මෙම ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම ආරම්භ කෙරුණි. නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය තාක්ෂණික දැනුම හා හැකියාවන් උපයෝගී කර ගනිමින් ඉතා අඩු පිරිවැයක් යටතේ මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 137 ක් මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපනය කර පවුල් 59945 හා පාසල් දුදැරියන් 47445 කට පිරිසිදු පානීය ජල අවශ්‍යතාව සපුරා දීමට කටයුතු කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කර ඇති සමීක්ෂණයන්ට අනුව නාවික හමුදාව විසින් ස්ථාපිත කරන ලද මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර වල පිරිසිදු ජලය පානය කිරිම තුළින් වාර්ෂිකව එකතුව වන වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව 5000 සිට 3000 දක්වා අඩුවී ඇති බව වාර්තා වී ඇත.

තවද, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රවල ජලය පරිභෝජනය කිරීම මගින් වකුගඩු රෝගය අවම කර ගැනීමට මහත් රුකුලක් වන අතර, දිවයින පුරා ස්ථාපනය කර ඇති ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර මගින් කොපමණ පවුල් සංඛ්‍යාවක් ප්‍රතිලාභ ලබනවාද යන්න පිළිබද වාර්ථාවක් අතිගරු ජනාධිපතිතුමා වෙත ලබා දෙන ලෙස වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය වෙත උපදෙස් දී ඇත. ඒ අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන අංශය මේ වන විට ඒ පිළිබඳ දත්තයන් රැස්කරමින් සිටින අතර, තවත් නොබෝ දිනකින් එම වාර්තාව අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කරමින් සිටි.