නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් නෞකාවකට සහ යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (1) ඩෙල්ෆ් දූපතට දකුණින් සහ වෙත්තලකේනි ප්‍රදේශයට නැගෙනහිරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයන්හිදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. මෙහිදී මෙම පිරිසට අයත් ට්‍රෝලර් යාත්‍රා 2ක් ද අත්අඩංගුවට පත් විය.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රා කන්කසන්තුරයෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට සහ කරේයිනගර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතන වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට නියමිතය.