මුහුදු ජලය පිරිපහදු කිරීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ වෛද්‍ය සායනයක් හම්බන්තොටදී
 

ශාන්තිකර සහයෝගීතාවය (PACIFIC PARTNERSHIP) 2017 වැඩසටහනට සමගාමීව හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් දකුණු පළාත ආවරණය වන පරිදි ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන් රාශියක් ක්‍රියාත්මක කරමින් පවතී. එහි එක් අංගයක් ලෙස මුහුදු ජලය පිරිපහදු කිරිම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ වෛද්‍ය සායනයක් ඊයේ (9) ඉතා සාර්ථක ලෙස නිමාවට පත් විය.

ඒ අනුව, ඇමරිකානු නාවික හමුදාවේ ෆෝල් රිවර් (EPF- Expeditionary Fast Transport Ship) නෞකාවට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් හම්බන්තොට වරාය පරිශ්‍රයේදී මුහුදු ජලය පිරිපහදු කිරීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ පුහුණු ක්‍රියාකාරකම් කිහිපයක් සිදු කරන ලදී. මෙමගින් හදිසි ආපදා තත්ත්වයකදී මුහුදු ජලය පිරිපහදු කර ආපදාවට ලක් වු පුද්ගලයන් හට බෙදාහැරිම පිළිබද මනා දැනුමක් සහ පුහුණුවක් ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා ගැනීමට හැකි විය. මෙම අවස්ථාව සඳහා නිලධාරීන් සහ නාවිකයන් 30 දෙනෙකු පමණ සහභාගී වී සිටියහ.

තවද, තිස්සමහාරාම මූලික රෝහල කේන්ද්‍ර කර ගනිමින් එම ප්‍රදේශයේ ජනතාවට වෛද්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් සංවිධානය කළ වෛද්‍ය සායනයක් ෆෝල් රිවර් නෞකාවට අනුයුක්ත වෛද්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එහිදී ඔවුන් අක්ෂි, දන්ත සහ බාහිර රෝග තත්ත්වයන් හදුනා ගැනීම පිළිබද වෛද්‍ය සායනයන් පවත්වන ලදී. එමෙන්ම, මෙම සායනයන් මගින් රෝගී තත්ත්වයන් මූලික අවස්ථාවේදීම හඳුනාගෙන ඒවා සඳහා ප්‍රථිකාර ලබා දී ඔවුන් සුරක්ෂිත කිරීමට හැකියාව ලැබිණි. මෙමගින් එම ප්‍රදේශයේ පුද්ගලයින් 200 කට වැඩි පිරිසකට තම වෛද්‍ය ගැටළු හදුනාගෙන ඒ සඳහා ප්‍රථිකාර ලබා ගැනීමට අවස්ථාව උදා විය.

මුහුදු ජලය පිරිපහදු කිරීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන

 

 

 

 

 

 

 

 

 

 

වෛද්‍ය සායනය