ආපදා කළමණාකරනය පිළිබඳ පුහුණු වැඩමුළුවක් හම්බන්තොටදී
 

ශාන්තිකර සහයෝගිතා වැඩසටහන - 2017 ට සමගාමීව හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරගෙන යනු ලබන ක්‍රියාකාරකම් හි තවත් එක් අංගයක් ලෙස ආපදා කළමණාකරනය පිළිබඳ පුහුණු වැඩසටහනක් අද (13) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙම වැඩසටහන ධජ නිලධාරී නාවික දියත් විධානය මගින් සංවිධානය කළ අතර, එහිදී, සුනාමි ව්‍යසන, ගංවතුර තත්ත්වයන්, නියගය ඇතුළු ස්වාභාවික ව්‍යසයන්හිදී ආපදාවට ලක් වූවන් ඉන් මුදවා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටන් පවත්වන ලදී. ශ්‍රී ලංකා යුද හමුදාව සහ ගුවන් හමුදාව ද එවැනි ආපදා තත්ත්වයන් හිදී ගොඩබිමින් මෙන්ම ගුවනින් සහන සැළසීමේ කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කළහ. තවද, ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් හදිසි සුනාමි තත්ත්වයකදී සුනාමි සංඥා කුළුනු මගින් අනතුරු හැගවීමක් සිදු කර ජනතාව සූදානමින් තැබීම පිළිබඳව දැනුවත් කළ අතර, මෑතකදී ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකායේ නිලධාරීන් විසින් එම බලකාය පිළිබඳ හැදින්වීමක් ද එහිදී සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා, ධජ නිලධාරී නාවික දියත් විධානය වශයෙන් රාජකාරී කරනු ලබන, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා, ත්‍රිවිධ හමුදාව සහ විදේශීය ආරක්ෂක හමුදාවන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ. එම අවස්ථාව සනිටුහන් කරමින් තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.