තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 13 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 13 ක් මාතලේ විල්ගමුව ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද අතර, එම යන්ත්‍ර ඊයේ (13) මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද සහභාගී විය.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මගපෙන්වීම යටතේ මාතලේ විල්ගමුව ප්‍රදේශය ආවරණය වන පරිදි පැවති 2017, ලෝක වකුගඩු දිනය සැමරිමේ උත්සවයට සමගාමිව මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කරන ලදී. ඒ අනුව ජනාධිපති වකුගඩු නිවාරණ කාර්ය සාධන බලකායේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ජල පිරිපහදු යන්ත්‍ර 10 ක් සහ ගාලු මුවදොර හෝටලයේ ISN Gardiner වකුගඩු රෝග නිවාරණ අරමුදලේ ප්‍රතිපාදන යටතේ ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ඉතා කෙටි කාලයක් තුළදී ස්ථාපිත කිරීමට නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සමත් වී ඇත. මෙහිදි නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ දැනුම වඩාත් පිළිඹිබු කරමින් මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර අතරින් යන්ත්‍ර 10 ක් අන්තර්ජාලය ඔස්සේ විවෘත කරන ලදී. තවද, මෙම උත්සව භූමිය තුළ ප්‍රදර්ශන කුටියක් ස්ථාපිත කර ජල පිරිපහදු යන්ත්‍ර සහ වකුගඩු රෝගය පිළිබඳව ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමක් ද සිදු කෙරිණි.

ඒ අනුව ජනාධිපති වකුගඩු නිවාරණ කාර්ය සාධන බලකායේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ නාමිණි ඔය මධ්‍ය මහා විද්‍යාලය, මාරක මහා විද්‍යාලය, නුගගොල්ල මහා විද්‍යාලය, මහවතැන්න ප්‍රාථමික විද්‍යාලය, රදුන්නේවැව ප්‍රාථමික විද්‍යාලය, සෝනුත්තර කනිෂ්ඨ විද්‍යාලය, මල්ගම්මන ප්‍රාථමික විද්‍යාලය, බෝගහවැව කනිෂ්ඨ විද්‍යාලය, ධර්මපාල ප්‍රාථමික විද්‍යාලය සහ විල්ගමුව ප්‍රාථමික විද්‍යාලය යන පාසල් සදහා ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර එම විද්‍යාලයන්හි ළමුන් 3622 ක් සහ ප්‍රදේශවාසින් 6006 ක් සදහා පිරිසිදු පානීය ජලය ලබා ගැනිමට අවස්ථාව උදා කර දී ඇත. තවද ISN Gardiner වකුගඩු රෝග නිවාරණ අරමුදල යටතේ මාතලේ පේරකනත්ත, ගැඹුරුඔය සහ ලේඩියන්ගල යන ප්‍රදේශ වල ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍ර මගින් එම ප්‍රදේශයන්හි ජීවත් වන ප්‍රදේශවාසීන් 546 ක් සදහා ජලය ලබා ගැනිමට අවස්ථාව ලැබී ඇත.

මෙම ජල පිරිපහදු යන්ත්‍ර නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිෂ්පාදනය කරන ලදී. මේ දක්වා මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 153 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 73,200 කට හා පාසැල් දරු දැරියන් 56,700 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.