ලීමා - 2017 ට සහභාගී වීම සඳහා සයුර නෞකාව මැලේසියාව බලා පිටත්ව යයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකා අතරින් විශාලතම නෞකාව වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුර, මැලේසියාවේ ලන්කාවි දූපතේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණයට (ලීමා - 2017) සහභාගී වීම සඳහා අද (14) සවස කොළඹ වරායෙන් පිටත් විය. වරායෙන් පිටත් වන සයුර නෞකාව වෙත නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම විසින් නාවික චාරිත්‍ර හා සම්ප්‍රදායානුකූලව සමුදීම සනිටුහන් කළ අතර, එම අවස්ථාව සඳහා බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.  

මෙම සංචාරයේදී නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමදෝරු ප්‍රසන්න අමරදාස මහතා කටයුතු කරනු ලබන අතර, සමස්ථ නැව් මුළුව, නිලධාරීන් සහ නාවිකයන් 215 දෙනෙකුගෙන් යුක්ත වේ.  

මෙම ප්‍රදර්ශණය සඳහා ලොව විවිධ රටවල් නියෝජනය කරමින් නෞකාවන් 40 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතය. රටවල් අතර ‍ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය කිරීමේ අරමුණින් වසර 2 කට වරක් මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශණය පවත්වනු ලබන අතර, මෙවර එම අභ්‍යාසය සහ ප්‍රදර්ශණය පවත්වනුයේ 14 වන වරටය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රථම වරට මෑතකදී ස්ථාපනය කරන ලද මැරීන් බලකායට අයත් නිලධාරියෙකු සහ නාවිකයින් 23 දෙනෙකුද ‍මෙවර එම ප්‍රදර්ශණය සඳහා සහභාගී වීම විශේෂත්වයකි. 

මාර්තු මස 21 වන දින සිට 25 වන දින දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශණයට සංස්කෘතික සංදර්ශණ, නෞකා දැක්ම, නාවික හා ගුවන් ඒකාබද්ධ අභ්‍යාසයන් ඇතුළු විශේෂ වැඩසටහන් රාශියක් පැවැත්වීමට නියමිතව ඇත.