ශ්‍රීලංනානෞ රත්නදීප ‍නෞකාව වෙත ඕස්ට්‍රේලියාවෙන් ආදේශන එන්ජිමක් ප්‍රදානය කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ඉල්ලීමකට අනුව ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ප්‍රදානය කරන ලද රත්නදීප නෞකාව සඳහා ආදේශන එන්ජිමක් ප්‍රධානය කිරීමේ උත්සවය අද (15) කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි නාවික නෞකා රංගල පළමු ජැටියේදී සිදු කරන ලදී. මෙම එන්ජිම නිල වශයෙන් නාවික හමුදාධිපතිතුමා වෙත භාරදීම ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු බ්‍රයිස් හච්සන්  මහතා  විසින් සිදු කෙරිණි.

පසුගිය ඔක්තෝබර් මස මෙම නෞකාවේ වම්පස ප්‍රධාන එන්ජිමේ හදිසි ආපදා තත්ත්වයක් උද්ගත වූ අතර, එය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා විශාල මුදලක් වැය වන බව අනාවරණය විය. ඒ අනුව නාවික හමුදාධිපතිතුමන් ඕස්ට්‍රේලියානු දේශ සීමා බලකායෙන් සිදු කරන ලද ඉල්ලීමකට අනුව ඉතා කඩිනමින් ක්‍රියාත්මක වූ එහි  නිලධාරීන් ඇමෙරිකානු ඩොලර් 40,000 ක් පමණ වටිනා අලුත්වැඩියා කරන ලද ආදේශන  එන්ජිමක් මෙම නෞකාව සඳහා නොමිලේ ලබා දීමට පියවර ගන්නා ලදී.

මෙම අවස්ථාවට එක්වූ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්තුමන් මෙම අවස්ථාව දෙරට අතර සහයෝගීතාවය සනිටුවන් කරන වැදගත් අවස්ථාවක් බව ප්‍රකාශ කළ අතර එමඟින් අනවසර මිනිස් ජාවාරම් කටයුතු මැඩපැවැත්වීමට හැකි බව ප්‍රකාශ කරන ලදී. තවද, දෙරට අතර සහයෝගය අන් කවරදාකටත් වඩා ශක්තිමත්ව ඇති බව ද, දෙපාර්ශ්වය විසින් මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව තමන් සතුටු වන බවද ප්‍රකාශ කෙරුණි.

මෙහිදී අදහස් දැක්වූ වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, මෙහෙයුම්, බුද්ධි තොරතුරු යනාදි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පවතින දිගු කාලීන බැඳිම් පිළිබව සිහිපත් කළ අතර, අනවසර සංක්‍රමණික කටයුතු මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද සිහිපත් කෙරුණි. එමෙන්ම 2014 වසරේ තමන් වෙරලාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් වශ‍යෙන් කටයුතු කරන කාලය තුළ  ඕස්ට්‍රේලියා ‍නෞකාවන් ශ්‍රී ලංකාවට ප්‍රධානය කරන ලද බවද ඒ මහතා සිහිපත් කරන ලදී.   තවද, මෙහිදී නාවික හමුදාධිපතිතුමන් විසින් පසුගිය වසර කීපය තිස්සේ ඕස්ට්‍රේලියානු රජයෙන් පළ කරන ලද සහාය සම්බන්ධයෙන් සිය ස්තුතිය ද එහිදී පුද කරන ලදී.

ඕස්ට්‍රේලියානු රජය මගින් එම රට වෙත කෙරෙන අනවසර සංක්‍රමණ හා මිනිස් ජාවාරම් කටයුතු මැඩලීමේ අරමුණින් 2014 වසරේදී ශ්‍රීලංනානෞ රත්නදීප නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ප්‍රධානය කර ඇත. ඒ අනුව, පසුගිය වසර කීපය මුළුල්ලේ එවැනි අනවසර සංක්‍රමණ විශාල ප්‍රමාණයක් මැඩපැවැත්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකි විය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා, අධ්‍යක්ෂ ජෙනරාල්වරු ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක කපිතාන් ජේශන් සියර්ස් මහතා සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද  සහභාගී වි සිටියහ.