ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 9 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 9 ක් අනුරාධපුර, යාපනය, පො‍ළොන්නරුව යන දිස්ත්‍රික්කයන් හිදී පසුගිය දින කීපය තුළ ජනතා අයිතියට පත් කෙරිණි. 

ඒ අනුව, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ, මහවිලච්චිය, ඇලපත්ගම ශ්‍රී සෝභිත විහාරස්ථානය, බුද්ධශාසන අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ සම්පත්නුවර, ජනකපුර ශ්‍රී ධර්මප්‍රදීප වැලිමළු විහාරස්ථානය සහ පදවිය ශ්‍රීපුර පරණ මැදවචිච්ය රණ්මඩුව රජමහා විහාරස්ථානය, ශ්‍රී ලංකා නාවික හමුදා සමාජිය මෙහෙවර අරමුදල යටතේ තලාව, කරගහවැව විහාරස්ථානය, පූනෑව මහ විද්‍යාලය සහ යාපනය කීරමලේ ගම්මානය, ශ්‍රී ලංකා රේගු ක්‍රීඩා සමාජයේ මූල්‍යාධාර යටතේ, අරලගංවිල ගම්මානය, උතුරු මැද පළාත් සභාවේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ, මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය සභාවට අයත් බුලංකුලම සහ පහලගම යන ප්‍රදේශයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර මෙසේ ස්ථාපනය කර ඇත.  

පූනෑව මහා විද්‍යාලයේ ස්ථාපනය කරන ලද ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කිරීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්, උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය. මෙමගින්, එම විද්‍යාලයේ සිසු දරු දැරියන් 1216 දෙනෙකුට හා ප්‍රදේශයේ පවුල් 345 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, එම පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරු භවතුන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ. 

තවද, ස්ථාපිත අනෙකුත් ජල පිරිපහදු යන්ත්‍ර මගින්, ඇලපත්ගම ශ්‍රී සෝභිත විහාරස්ථානයේ සහ ඒ අවට පවුල් 450 කට, ජනකපුර ශ්‍රී ධර්මප්‍රදීප වැලිමළු විහාරයේ සහ ඒ අවට පවුල් 470 කට, පදවිය ශ්‍රීපුර පරණ මැදවචිච්ය රණ්මඩුව රජමහා විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා සහ ඒ අවට පවුල් 320 කට, කීරමලේ ප්‍රදේශයේ පවුල් 50 කට, අරලගංවිල ප්‍රදේශයේ පවුල් 580 කට, තලාව, කරගහවැව විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා සහ ඒ අවට පවුල් 500 කට, බුලංකුලම ප්‍රදේශයේ පවුල් 490 කට සහ පහලගම ප්‍රදේශයේ පවුල් 520 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනිමට අවස්ථාව ලැබී ඇත.  

මෙම ජල පිරිපහදු යන්ත්‍ර නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිෂ්පාදනය කරන ලදී. මේ දක්වා මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 162 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 76,925 කට හා පාසැල් දරු දැරියන් 60,000 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.