ශාන්තිකර සහයෝගීතාව - 2017 වැඩසටහන් හම්බන්තොටදී සාර්ථක ලෙස නිමාවට පත් වෙයි
 

ශාන්තිකර සහයෝගීතාව - 2017 වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පළමු නැවතුම්පොළ වශයෙන් හම්බන්තොට වරාය තෝරා ගනිමින් ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ‍ෆෝල් රිවර් නෞකාව පසුගිය මාර්තු 7 වන දින ශ්‍රී ලංකාවට සේන්දු විය.

මෙම වැඩසටහනට සමගාමීව ප්‍රජා සත්කාරක සහ සමාජ සුභ සාධන කටයුතු රාශියක් ක්‍රියාවට නැංවුනු අතර, ඒවා සාර්ථක ලෙස නිමාවට පත් කිරීමෙන් අනතුරුව ශාන්තිකර සහයෝගීතාව - 2017 වැඩසටහනේ සමාප්ති උත්සවය අද හම්බන්තොට වරාය පරිශ්‍රයේදී පැවැත්විණි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, සිරිමෙවන් රණසිංහ මහතා සහභාගී වූ අතර, දකුණු නාවික විධානය භාර ආඥාපති, නිශාන්ත උළුගේතැන්න මහතා, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් වරුන්, නාවික හමුදා මූලස්ථානය සහ දකුණු නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

ඉන්දු, ආසියා පැසිෆික් කලාපයේ වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන විශාලතම මානුෂීය උපකාර සහ ආපදා සහන සැලසීමේ මෙහෙයුම ලෙස මෙම වැඩසටහන හදුන්වා දිය හැක. මෙමගින් කලාපයේ රටවල් අතර සෞඛ්‍ය සේවා වර්ධනය කර ගැනීම සහ වෙනත් ආපදා තත්ත්වයන් වලදී සාමූහිකව සම්බන්ධීකරණය වී කටයුතු කිරීම ප්‍රධාන වශයෙන් අපේක්ෂා කෙරේ.

මෙවර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ ජපානය යන රටල් වලින් පැමිණි හමුදා සහ රාජ්‍ය නොවන සංවිධානයන්ට අයත් පුද්ගලයින් සිය දායකත්වය සැපයූ අතර, ඔවුන් ශ්‍රී ලංකා පාර්ශවකරුවන් සමඟ වෛද්‍ය, සිවිල් ඉංජිනේරු , මානුෂීය උපකාර සහ ආපදා සහන සැලසීම වැනි වැඩසටහන් රාශියක ද නිරත විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පන්සල්, පාසල්, පෙර පාසල්, රෝහල්, ප්‍රජා ශාලා සහ පොදු මහජනතාව ඉලක්ක කර ගනිමින් සෞඛ්‍ය කදවුරු, සංගීතමය වැඩසටහන්, සිවිල් ඉංජිනේරු වැඩසටහන්, දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම සංස්කෘතික වැඩසටහන් වැනි සමාජ සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරන ලදී. එම සමාජ සත්කාරක සේවාවන් ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශංසාවට මෙන්ම අගය කිරීමට ද ලක්විය.

එමෙන්ම ඇමරිකා එක්සත් ජනපද 7 වන බලගනයේ (USS 7th Fleet) තූර්ය වාදක කණ්ඩායම හා ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම සමඟ එක්ව සිදු කළ විශේෂ තූර්ය වාදක ප්‍රසංග කිහිපය කැපී පෙනෙන අංගයක් විය. මෙම ප්‍රසංග මාලාව ගාලු කොටුව, තංගල්ල නගරය, හම්බන්තොට වෙරළ උයන, බටඅත කෘෂි උයන හා මාතර වෙරළ උයන යන ස්ථානවල සංවිධානය කර තිබිණි. ඒ සඳහා විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයක් දක්නට ලැබුනු අතර, මෙම තූර්ය වාදක ප්‍රසංගයන් නැරඹීමට පැමිණි දෙස් විදෙස් සංගීත ලෝලීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ. එහිදී ඔවුන් වෙත ඇමරිකානු සහ ශ්‍රී ලංකීය සංගීතයේ අපූරූ සම්මිශ්‍රණයක් විද ගැනීමට අවස්ථාව ලැබුණි.

මෙම උත්සව අවස්ථාව ඇමතූ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහ අධ්‍යක්ෂ නාවික මෙහෙයුම්, කොමදෝරු කළණ ජිනදාස මහතා මෙම වැඩසටහනට සම්බන්ධ වූ පාර්ෂවයන් වෙත ස්තුතිය පුද කළ අතර, මෙම ජාත්‍යන්තර වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව තොරා ගැනීම සම්බන්ධයෙන් ද සිය සතුට පළ කර සිටින ලදී.

මෙම සමාප්ති උත්සවයෙන් අනතුරුව ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේදී සම්භාවනීය අමුත්තන් වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ සාදයක් ද සංවිධානය කර තිබුණි. එම සාදය සඳහා දෙස් විදෙස් පාර්ශවකරුවන් රැසක් සහභාගී වූ අතර, නාවික හමුදා සංස්කෘතික කණ්ඩායම් ඉදිරිපත් කළ අංගයන් ගෙන් එය තවත් විචිත්‍රවත් විය.

වසර 12 ක ශාන්තිකර සහයෝගීතා ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ ප්‍රථම වැඩසටහන බවට මෙම ක්‍රියාන්විතය ඉතිහාසයට එක්වේ. මෙම වැඩසටහන් මාලාවේ නිමාව සටහන් කරමින් එක්සත් ජනපද නාවික හමුදාවේ ෆෝල් රිවර් නෞකාව හෙට (18) දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත අතර, ශාන්තිකර සහයෝගීතා - 2017 වැඩසටහනේ ඉදිරි ක්‍රියාන්විතයන් මැලේසියාව සහ වියට්නාමය යන රටවල් වලදී ක්‍රියාත්මක කෙරෙනු ඇත.