ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ජනතාවට ලබා දීම එහි තවත් එක් ව්‍යාපෘතියක් වේ. ඒ අනුව, අනුරාධපුර ප්‍රදේශයේ පලුගස්වැව ගම්මානයේ සහ පොලොන්නරුව බිසෝබණ්ඩාරගම ගම්මානයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් පසුගිය 18 වන දින ජනතා අයිතියට පත් කෙරිණි. 

ඒ අනුව පලුගස්වැව ගම්මානයේ ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 460 කට සහ බිසෝබණ්ඩාරගම ගම්මානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් පවුල් 600 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකියාව ලැබිණි. මෙම ජල පිරිපහදු යන්ත්‍ර ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධන බලකායේ මූල්‍ය අනුග්‍රහය යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් ඉදිකර ඇත.  

බිසෝබණ්ඩාරගම ප්‍රදේශයේ ස්ථාපනය කරන ලද ජල පිරිපහදු යන්ත්‍රය සඳහා අවශ්‍ය ගොඩනැඟිල්ල නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ උපදෙස් මත එම නාවික විධානයට අනුයුක්ත සිවිල් ඉංජිනේරු අංශයේ නාවික පුද්ගලයින් විසින් ඉදි කර ඇති අතර, පලුගස්වැව ගම්මානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රයේ ගොඩනැගිල්ල උතුරුමැද නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය මත එම නාවික විධානයට අනුයුක්ත සිවිල් ඉංජිනේරු අංශයේ නාවික පුද්ගලයින්ගේ පූර්ණ ශ්‍රම දායකත්වය මත ඉදිකර ඇත.  

මේ දක්වා මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 164 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 77,985 කට හා පාසැල් දරු දැරියන් 60,000 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයන් සපුරා දීමට කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.