ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු ස්ථාන දෙකකදී ඊයේ (22) අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් විසින් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය ඇතිව අනලතිව් දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් ධීවරයින් සහ භාණ්ඩ ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට නියමිතය.

තවද, උතුරුමැද නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවන් දෙකකට අයත් නාවික පුද්ගලයන් විසින් මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් ධීවරයින් සහ භාණ්ඩ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට නියමිතව ඇත.