නාවික හමුදාව ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් රුපියල් බිලියන 3 ක ආදායමක් උපයයි
 

මීට මාස 16 කට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරී භාර ගත් අතර, මේ වන විට ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් පමණක් රුපියල් බිලියන 3 ක ආදායමක් රජයට උපයාදී ඇත.

මෙහෙයුම් රාජකාරී ඝනයට අයත් වන මෙම කර්තව්‍යය සඳහා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය සපයනු ලබන අතර, එමගින් සාගරික කටයුතුවල නිරත වන පාර්ශවයන්හට ආරක්ෂිත සාගර කළාපයක් ඇති කිරීම මෙන්ම බාධාවකින් තොරව යාත්‍රා කිරීමේ අවස්ථාව ලබා දීම ද අපේක්ෂා කෙරේ.

වර්තමාන විනිමය අනුපාතයන්ට අනුව 2015 නොවැම්බර් මස සිට සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීම් මගින් උපයාගෙන ඇති ආදායම රුපියල් බිලියන 3 ක් පමණ විශාල අගයක් ගනී. එම මුදල, ප්‍රධාන වශයෙන් ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානයන් සිදු කළ නෞකා ගමන් වාර 8170 ක් මගින් උපයා ඇත.

අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ උපදෙස් අනුව සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැළසීම නාවික හමුදාව විසින් භාර ගත් අතර, ඉන් උපයනු ලබන ලාභයන් රජයේ ඒකාබද්ධ අරමුදල වෙත සෘජුවම බැර කිරීමට කටයුතු කෙරේ.

ඒ අනුව, වෙළඳ නෞකාවන් සඳහා ආරක්ෂාව සපයනු ලබන සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සතු අවි ආයුධ ලබා ගැනීම, ගබඩා කිරීම සහ නිකුත් කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරෙණ වගකීම් වේ.

තවද මේ වන විට සියළු මෙහෙයුම් ම්‍ය්‍යස්ථානයන් හරහා සිදු කළ මුළු ගමන්වාර 8,797 ක් මගින් රුපියල් 3,111,250,178.60 ක ආදායමක් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා ආරක්ෂක පහසුකම් රාජකාරි තුළින් රජයට අත්කරදීමට නාවික හමුදාවට හැකිවී තිබේ.