ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ස්ථාපිත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි. එහි එක් ව්‍යාපෘතියක් ලෙස වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු වස් එම ප්‍රදේශයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක.

ඒ අනුව තලාව පහළ සියඹලාව සහ මැදිරිගිරිය වේදේහපුර යන ගම්මානයන්හි ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරුණු අතර, නාවික හමුදා මැරින් බළඝණ නාවිකයින්ගේ ප්‍රයෝජනය සදහා ද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපනය කිරීමට නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය කටයුතු කරන ලදී.

ඒ අනුව, පහළ සියඹලාව ගම්මානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 345 කට සහ වේදේහපුර ගම්මානයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 268 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකියාව උදා වී ඇත. තවද, ඒ සඳහා ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධන බලකාය විසින් මූල්‍යමය දායකත්වය ලබා දී ඇත. එමෙන්ම මැරීන් බළකා නාවික පුද්ගලයින් වෙනුවෙන් ස්ථාපනය කරන ලද ජල පිරිපහදු යන්ත්‍රය මගින් නාවික පුද්ගලයන් 164 දෙනෙකුට සිය පිරිසිදු පානීය ජල අවශතාවය සපුරා ගත හැක.

මේ දක්වා මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 179 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 82396 කට හා පාසැල් දරු දැරියන් 64581 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.