ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ටෙරුසුකි නෞකාව ශ්‍රීලංනානෞ සමුදුර නෞකාව ඒකාබද්ධ නාවික අභ්‍යාසයන්ට එක්වෙයි
 

ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව, ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ‘ටෙරුසුකි’ නෞකාව සමග අද (2) කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ද්විපාර්ශ්වික නාවික පුහුණු අභ්‍යාසයක් පැවැත්වීය.

ඒ අනුව, ඔවුන් ප්‍රථමයෙන්ම නෞකා හැසිරවීමේ අභ්‍යාසයන්හි නිරත වූ අතර, ඉන් අනතුරුව ටෙරුසුකි නෞකාව සතු හෙලිකොප්ටරය උපයෝගී කර ගනිමින් සෙවීම හා මුදවා ගැනීමේ අභ්‍යාසය සිදු කරන ලදී.

දෙරටේ නාවික හමුදාවන්ගේ සම්බන්ධීකරණ නිලධාරීන්ගේ දායකත්වය එම අභ්‍යාසයන් සඳහා මහත් උපකාරයක් වූ අතර, එමගින් අභ්‍යාසයන්ගේ තොරතුරු දෙපාර්ශවය අතර මනා ලෙස හුවමාරු කර ගැනීමට හැකි විය. පැය 4 ක් කාලයක් පුරා පැවති නාවික අභ්‍යාසයන් නාවික සම්ප්‍රදායානුකූලව යුද නෞකාවන් දෙකක් අතර සිදු කරනු ලබන සමුදීමේ ආචාරය මගින් නිමාවට පත් විය.

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් නෞකාවන්ගේ මෙරට සංචාරයන් සහ ඒවායේ අ‍න‍ෙකුත් ක්‍රියාකාරකම්, ඔවුන් සමග පවත්නා සබඳතා ශක්තිමත් කර ගැනීමටත් දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමටත් මනා උපකාරයක් වී ඇත. තවද, මෙවැනි අභ්‍යාසයන් නාවික හමුදාවන් අතර වෘත්තීමය හැකියාවන් වර්ධනය කිරීම උදෙසා ද ඉවහල් වේ.

ටෙරුසුකි නෞකාව අප්‍රේල් මස 1 වන දින සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි අතර, 2016 වර්ෂය තුළදී ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් නෞකාවන් 6 ක් සුහදතාවය වර්ධනය කර ගැනීම, සැපයුම් අවශ්‍යතාවයන් සහ පුහුණු අභ්‍යායන් සඳහා දිවයිනට පැමිණ තිබේ.