සුර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මක ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර දෙකක් ස්ථාපිත කෙරේ
 

වර්තමාන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මැතිතුමා නාවික හමුදාධිපති ධුරයේ වැඩභාර ගැනිමෙන් පසු එතුමාගේ උපදෙස් මත කපිතාන් (ඉ) ප්‍රියංකර දිසානායකගේ අධික්ෂණය යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සමාජීය විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස අඩු පිරිවැයකින් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර නිපදවීම මුලික කරගත් විවිධ සමාජ සත්කාර සේවාවන් රැසක් ආරම්භ කරන ලදී.

ඒ අනුව වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය විසින් වෙන් කරනු ලබන ප්‍රතිපාදන මත 2016 වර්ෂය සඳහා නාවික හමුදාව විසින් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කිරීම ආරම්භ කරන ලදී. එම ලබාදෙනු ලබන ප්‍රතිපාදන මගින් නාවික හමුදා පර්යේෂණ ඒකකය මේ වන විට රුපියල් මිලියන 30 ක් පමණ ඉතිරි කිරීමට සමත්ව ඇත. එම ඉතිරි මුදල් මගින් සුර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මක ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර නිපදවීමට නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සමත් විය. ඒ අනුව සුර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මක ජල පිරිපහදු යන්ත්‍ර දෙකක් තණමල්විල කොටවෙහෙර මංකඩ විද්‍යාලයේ සහ අලුත්වැව විද්‍යාලයේ ස්ථාපිත කරන ලදි.

තවද, මෙවැනි සුර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මක ජල පිරිපහදු යන්ත්‍ර 30 ක් නාවික හමුදාව විසින් විවිධ ප්‍රදේශ වල ස්ථාපිත කිරීමට කටයුතු කරන අතර, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිදු කරන සමාජ මෙහෙවර ඉදිරියටත් සිදු කිරිමට කටයුතු කරමින් පවති.