නාවික හමුදාධිපතිතුමන්ගේ බ්‍රසීල සංචාරය හා ශ්‍රී ලංකාවේ නීල ආර්ථික අභිමතාර්ථ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ බ්‍රසීල සංචාරයත් සමඟ ශ්‍රී ලංකාවේ නීල ආර්ථික අභිලාෂයන් ළඟා කර ගැනීම පිළිබඳ නව බලාපොරොත්තු ඇති විය. ඒ අනුව මෙම සංචාරය අතරතුරදී වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා බ්‍රසීල නාවික හමුදාවේ ඉහළ පෙළේ නායකයින් සමඟ ඵලදායී සාකච්ඡා සිදු කරන ලදී.

මේ දිනවල බ්‍රසීලයේ පැවැත්වෙන ලතින් ඇමරිකානු අභ්‍යාවකාශ හා ආරක්ෂක ප්‍රදර්ශණයට (LAAD - 2017) සහභාගී වී සිටින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (3) රියෝ ද ජැනයිරෝ නුවර දී බ්‍රසීල නාවික හමුදාවේ ජල මානක හා ජල තරණ ප්‍රධානීන් හමුවිය.

එහිදී, ජල මානක හා ජල තරණ අධ්‍යක්ෂක, වයිස් අද්මිරාල් මාකස් සම්පයෝ ඔල්සෙන් මහතා විසින් නාවික හමුදාධිපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. ඉන් අනතුරුව පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා ජල මානක හා ජල තරණ අංශයේ උපදේශකයෙකු වශයෙන් කටයුතු කරන අද්මිරාල් (විශ්‍රාමික) ලුවිස් ෆර්නෑන්ඩෝ ෆල්මර් ෆෝන්සේකා මහතා සහ බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති, ජෙනරාල් (විශ්‍රාමික) ජගත් ජයසූරිය මහතා ද සහභාගී වී සිටියහ.

එම සාකච්ඡාව අතරතුරදී බ්‍රසීල ජල මානක හා ජල තරණ අංශය විසින් ජල මානක මිනුම් කටයුතු පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කළ අතර, එහිදී පවත්වන ලද සාකච්ඡා වලදී නාවික හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ සිට විහිදී යන මහද්වීපික තටකය ආශ්‍රිත මිනුම් කටයුතු සඳහා සහය ලබා දෙන මෙන් බ්‍රසීල නාවික හමුදා ජලමානක විශේෂඥයින් ගෙන් ඉල්ලීමක් සිදු කරන ලදී. තවද, එම අවස්ථාවේදී අදහස් දැක්වූ නාවික හමුදාධිපතිතුමන් ප්‍රකාශ කළ සිටියේ ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සමෘද්ධිය හා ස්ථායිතාවය, සාගරය ආශ්‍රිත සම්පත්, තෙල්, ගෑස්, සහ දුර්ලභ ඛනිජ සංඝටක මත රඳා පවතින බවයි. ශ්‍රී ලංකාවට අයත් මහද්වීපික තටකය සීමානිර්ණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා භූමි ප්‍රදේශය මෙන් විසිතුන් ගුණයක් විශාල සාගර කලාපයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බව එතුමා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

බ්‍රසීල රාජ්‍යය නාවික ජලමානක විද්‍යාව සහ සාගර විද්‍යාව යන අංශයන්ගෙන් විශාල දියුණුවක් අත් කර ගෙන ඇත. තවද, ඔවුන් මුහුදු සීමා නිර්ණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුව, සිය මහද්වීපික තටක සීමා නිර්ණය කරගත් ලොව දෙවන රට වශයෙන් ද සැලකේ.

පසුගිය වසරේ පවත්වන ලද ගාලු කතිකාව සාගරික සම්මන්ත්‍රණයට ප්‍රථම වරට බ්‍රසීලය නියෝජනය කරමින් මෙහෙයුම් හා බුද්ධි අංශයේ නියෝජ්‍ය ප්‍රධානී රියර් අද්මිරාල් එස්එෆ් චාවේස් මහතා සහභාගි විය. එතුමාගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාධිපතිතුමන් මේවන විට ලතින් ඇමරිකානු අභ්‍යාවකාශ හා ආරක්ෂක ප්‍රදර්ශණයට (LAAD - 2017) සහභාගී සිටියි.

ලතින් ඇමරිකානු අභ්‍යාවකාශ හා ආරක්ෂක ප්‍රදර්ශණය, ලතින් ඇමරිකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් සංවිධානය කරනු ලබන විශාලතම සහ වැදගත්ම ප්‍රදර්ශණය ලෙස සැළකේ. වසර 2 කට වරක් පැවැත්වෙන මෙම ප්‍රදර්ශණය, බ්‍රසීල සහ ජාත්‍යන්තර ආයතන සඳහා සිය නිපැයුම් හා සේවා හදුන්වා දීමට අවස්ථාව උදා වන මහඟු තෝතැන්නක් වශයෙන් ද හදුන්වා දිය හැක.