බහාලුම් නෞකාවේ හටගත් ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකා, ඉන්දීය නාවික හමුදාවන් සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ සහාය
 

පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ ඩැනීලා බහාලුම් නෞකාවේ ඊයේ (4) ගින්නක් හට ගන්නා ලදී. ඒ වන විට නෞකාව කොළඹ වරායේ සිට නාවික සැතපුම් 120 ක් පමණ දුරකින් යාත්‍රා කරමින් තිබූ අතර, එම ගින්න මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවන් 2 ක් පිටත් කර හරින ලදී.

ඩැනීලා නෞකාව ඊයේ (4) වන විට නාවික සැතපුම් 120 සිට 33 ක් දක්වා කොළඹ දෙසට යාත්‍රා කර ඇති අතර, එම නෞකාව යාත්‍රා කරන තෙක් නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රා 2 ක් එයට සහාය දක්වමින් ගමන් කර ඇත. ඒ අනුව, අද (5) වන විට නෞකාව කොළඹ ප්‍රදීපාගාරයේ සිට මුහුදු සැතපුම් 10 ක් දක්වා රැගෙන ඒමට නාවික හමුදාව සහාය දක්වන ලදී. නෞකාවේ මූලික ගිනි නිවීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ටග් යාත්‍රා 2 ක් වන රාවණා සහ මහ වැව එක් වූ අතර, ගින්න පැතිර යාමේ සීග්‍රතාවය අධික වූ බැවින් ගින්න නීවීම සඳහා එම ටග් යාත්‍රාවන්ගේ සේවය ප්‍රමාණවත් නොවීය.

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට සහාය දක්වන මෙන් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් සිදු කළ ඉල්ලීමකට කඩිනමින් ප්‍රතිචාර දක්වමින්, ඊයේ (4) සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දියානු වෙරළාරක්ෂක බලකායට අයත් ශූර් නෞකාව ගින්න මැඩ පැවැත්වීමේ කටයුතු සඳහා යොදවන ලදී. ඊට අමතරව, දකුණු මුහුදු තීරයේ මුර සංචාරක කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාව ද ගින්න මැඩපැවැත්වීමේ මෙහෙයුම් සඳහා සහභාගී වූ අතර, සාගර සහ ශූර් යන නෞකාවන් ගිනි නිවීමේ උපකරණ වලින් හා ඒ සඳහා පුහුණුව ලැබූ නාවික පුද්ගලයින්ගෙන් ද සමන්විතය.

මීට අමතරව, ඉන්දියානු නාවික හමුදාව ඔවුන්ගේ නෞකාවන් 2 ක් වන දර්ශක් සහ ගැරියර් යන නෞකාවන් ද ගිනි නිවීමේ මෙහෙයුම් සඳහා පිටත් කර එවන ලදී. මේ අතර, හදිසි අවස්ථාවක් උද්ගත වුව හොත් නෞකාවේ සිටි 21 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලය බේරා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව තවත් වේග ප්‍රහාරක යාත්‍රාවන් 3 ක් යෙදවීය.

එමෙන්ම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 සහ ඉන්දියානු නාවික හමුදාවට අයත් චෙතක් යන හෙලිකොප්ටර් යානා ද නෞකාවේ ගිනි නිවීමේ මෙහෙයුම සඳහා සහාය දැක්වීමට යොදවා තිබිණි.

ගිනි නිවීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතින අතර, ඒ සඳහා ඉන්දියානු නාවික හමුදා, ඉන්දියානු වෙරළාරක්ක බළකා සහ ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් මෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පුද්ගලයින් ඉතා යුහුසුළුව කටයුතු කරනු ලබයි.

මෙම කර්තව්‍ය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සාගරික සහයෝගීතාවය මනාව පිළිබිඹු කරනු ලබන අවස්ථාවක් ලෙස දැක්විය හැක.

මෙම හදිසි අවස්ථාවේ කඩිනමින් ක්‍රියා කරන ලද ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට සහ ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට සහාය දැක්වීම සඳහා පැමිණි ඉන්දියානු වෙරළාරක්ෂක ශූර් නෞකාවට නාවික හමුදාවේ විශේෂ ස්තුතිය පුද කෙරිණි.