ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල නෞකාවන් ඉන්දියාවේ කොචින් වරාය බලා පිටත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකාවන් වන ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල යන නෞකාවන් අද (4) සුහදතාවය වර්ධනය කර ගැනීමේ සහ පුහුණු සංචාරයක් උදෙසා කොළඹ වරායෙන් ඉන්දියාවේ කොචින් වරාය දක්වා යාත්‍රා කරන ලදී.

ශ්‍රීලංනානෞ සමුදුර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් ජගත් ප්‍රේමරත්න මහතා කටයුතු කරනු ලබන අතර, කපිතාන් රෝහිත අබේසිංහ මහතා ශ්‍රීලංනානෞ සුරනිමිල නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරනු ලබයි.

එම නෞකාවන් අප්‍රේල් මස 6 වන දින සිට 9 වන දින දක්වා ඉන්දියාවේ රැදී සිටින අතර, එම කාල සීමාව තුළදී නෞකාවන්ගේ නැව් මුළුව, ජල තරණ පාසල, දිය යට සංග්‍රාමික පුහුණු පාසල, සංඥා පාසල සහ අවි පාසල යන නාවික පුහුණු මධ්‍යස්ථානයන් හි සංචාරය කිරීමට නියමිතය.

තවද, එම සංචාරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් විසින් ඉන්දියානු නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ කීපයක් සඳහා ද සහභාගී වීමට නියමිතය. ඒ අනුව, ඔවුන් පා පන්දු, වොලිබෝල් සහ පැසිපන්දු යන ක්‍රීඩාවන් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එමගින් දෙරටේ නාවික හමුදාවන් අතර අ‍න්නෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කර ගැනීම අපේක්ෂා කෙරේ.

ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල නෞකාවන් ද්විත්වය අප්‍රේල් මස 9 වන දින සිය කර්තව්‍යයන් සාර්ථක ලෙස නිමා කරමින් කොචින් වරායෙන් පිටත් වී නැවත ශ්‍රී ලංකාව බලා යාත්‍රා කිරීමට නියමිතව ඇත.