වියළි කැස්බෑ මස් කිලෝග්‍රෑම් 13.2 ක් සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය, කොඩ්ඩියාර් ධීවර වරායට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (19) සිදු කළ සෝදිසි කිරීමකදී එම වරායේ නැංගුරම් ලා තිබූ බහුදින ධීවර යාත්‍රාවක තිබී වියළි කැස්බෑ මස් කිලෝග්‍රෑම් 13.2 ක් සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

එම පුද්ගලයන්, මස් තොගය සහ අනෙකුත් ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

1977 වර්ෂයේදී දී ඉදිරිපත් වූ වඳ වී යාමේ තර්ජනයට ලක්‌ වූ ජීවීන් ගේ වෙළෙඳාම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තියට (CITES) අනුව කැස්‌බෑවුන් ඇල්ලීම, මැරීම සහ වෙනත් පරිභෝජනයන් සඳහා යෙදවීම තහනම් කර ඇති අතර ශ්‍රී ලංකාව 1979 වර්ෂයේ දී CITES පනතේ සාමාජිකයකු බවට පත් විය.