තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි. එහි එක් ව්‍යාපෘතියක් ලෙස වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු වස් එම ප්‍රදේශයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක. ඒ අනුව වව්නියාව අලගල්ල, අනුරාධපුර තුරුවිල විද්‍යාලය සහ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය යන ස්ථානයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් අද (27) විවෘත කෙරිණි.

ඒ අනුව අලගල්ල ගම්මානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 345 කට, තුරුවිල විද්‍යාලය ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම පාසලේ ළමුන් 480 කට සහ එම ප්‍රදේශයේ පවුල් 680 කට මෙන්ම තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථා‍පිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම පාසලේ ළමුන් 1870 කට සහ ප්‍රදේශයේ පවුල් 620 කට ද පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකියාව උදා වනු ඇත.

අලගල්ල ගම්මානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය සඳහා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය විසින් මූල්‍යමය දායකත්වය ද, තුරුවිල විද්‍යාලයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය නාවික හමුදා මුල්‍ය දායකත්වයෙන් ද ඉදිකරන ලදී. තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථා‍පිත ජල පිරිපහදු යන්ත්‍රය සදහා ෆයර් ෆ්ලයි මිෂන් සිංගප්පූරු ආයතනය මගින් මුල්‍යමය දායකත්වය ලබා දි ඇත.

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය විසින් වෙන් කරනු ලබන ප්‍රතිපාදන මත 2016 වර්ෂය සඳහා නාවික හමුදාව විසින් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කිරීම ආරම්භ කරන ලදී. එම ප්‍රතිපාදන මගින් නාවික හමුදා පර්යේෂණ ඒකකය මේ වන විට රුපියල් මිලියන 30 ක් පමණ මුදලක් ඉතිරි කිරීමට සමත්ව ඇත. එම මුදල් මගින් සුර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මක ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර නිපදවීමට ද නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සමත් විය. ඒ අනුව සුර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මක ජල පිරිපහදු යන්ත්‍ර 6 ක් හම්බෙගමුව ප්‍රදේශයේ ස්ථාපනය කර ඇත. තවද, මෙවැනි සුර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මක ජල පිරිපහදු යන්ත්‍ර 30 ක් නාවික හමුදාව විසින් විවිධ ප්‍රදේශ වල ස්ථාපිත කිරීමට කටයුතු කරමින් පවතින අතර, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිදු කරන සමාජ මෙහෙවර ඉදිරියටත් සිදු කිරිමට කටයුතු කරමින් පවති.

මේ දක්වා මෙවැනි ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 194 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 92291 කට හා පාසැල් දරු දැරියන් 72550 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.