තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 5ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි. එහි එක් ව්‍යාපෘතියක් ලෙස වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු වස් එම ප්‍රදේශයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක. ඒ අනුව, තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 5 ක් අද (28) ජනතා අයිතියට පත් කිරීමට නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය කටයුතු කරන ලදී. 

ඒවා අනුරාධපුර මහබුලංකුලම මහා විද්‍යාල‍ය, පදවිය ශ්‍රී පුර ජයන්තිපුර විද්‍යාලය, හොරොව්පොතාන රස්නකවැව, වව්නියාව මාමඩුව සහ වැලිඔය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය යන ස්ථානයන්හි ස්ථාපිත කොට ඇත. 

මහබුලංකුලම මහා විද්‍යාල‍යේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම පාසලේ ළමුන් 1670 කට සහ එම ප්‍රදේශයේ පවුල් 1725 කට, ජයන්තිපුර විද්‍යාල‍යේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම පාසලේ ළමුන් 695 කට සහ එම ප්‍රදේශයේ පවුල් 897 කට, රස්නකවැව ගම්මානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 1452 කට, මාමඩුව ගම්මානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 926 කට සහ වැලිඔය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 1796 ක් සදහා පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකියාව උදා වනු ඇත. තවද මහබුලංකුලම මහා විද්‍යාලයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය සදහා ෆයර් ෆ්ලයි මිෂන් සිංගප්පූරු ආයතනයේ සහ අනෙකුත් ජල පිරිපහදු යන්ත්‍ර සදහා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායේ මුල්‍ය දායකත්වය ලබා දි ඇත.  

මේ දක්වා මෙවැනි ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 199 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 99087 කට හා පාසැල් දරු දැරියන් 74220 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.