Colombo Supercross - 2017 ධාවන තරඟාවලිය මැයි මස 7 වන දින වැලිසර දී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලබන Colombo Supercross – 2017 තරඟාවලිය මැයි මස 7 වන දින වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී පැවැත්වීමට නියමිතව ඇත. ඒ බව අනාවරණය කෙරුණේ ඊයේ (28) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවේදීය.

මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය මෙන්ම ආසියානු මෝටර් රථ ධාවකයින්ගේ සංගමය ද ශ්‍රී ලංකා නාවික හමුදාව සමග අත්වැල් බැඳගනිමින් මෙම තරඟාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයින් හට සිය දක්ෂතා එළිදැක්වීමට අවස්ථාවක් උදා කර දී ඇත.

මෙම සුවිශේෂී මෝටර් රථ ධාවන තරඟාවලිය සංවිධානය කිරීමේ අරමුණු අතර ජාත්‍යන්තර මට්ටමේ ධාවන තරඟාවලි සඳහා තරඟ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් හට ඊට අවශ්‍ය ජාත්‍යන්තර මට්ටමේ ධාවන පථයක් නිර්මාණය කර දීම, ජාත්‍යන්තර තරඟ සංවිධායකයින්ගේ අවධානය දිනා ගනිමින් පුහුණු කටයුතු සඳහා අවශ්‍ය පූර්ණ දායකත්වය ලබා දීම සහ නාවික රණවිරුවන්ගේ සුභසාධන කටයුතු පිණිස අවශ්‍ය මූල්‍ය දායකත්වය ලබා ගැනීම යන කරුණු ප්‍රධාන වේ.

මෙම තරඟ සංවිධානයෙන් ලැබෙන අරමුදල්, සටනේදී මිය ගිය, ආබාධිත තත්ත්වයට පත් වූ නාවික රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් හට මෙන්ම නාවික පුද්ගලයින්ගේ සුභසාධන කටයුතු සඳහා ද යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.

මෙම මාධ්‍ය සාකච්ඡාව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. තවද, ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයින්ගේ සංගමයේ ප්‍රථම සභාපති, රොඩ්නි මේසන් මහතා, නාවික හමුදා අධ්‍යක්ෂ ක්‍රීඩා, කපිතාන් ප්‍රදීප් රත්නායක මහතා, නාවික හමුදා මෝටර් රථ ධාවන සංචිතයේ සභාපති, කපිතාන් සුනන්ද කළුආරච්චි මහතා, Colombo Supercross ධාවන තරඟාවලියේ තරඟාවලි අධ්‍යක්ෂක, කියාස් ඩීන් මහතා, Colombo Supercross තරඟාවලියේ තරඟ සම්බන්ධීකරණ නිලධාරී, ගයාන් සඳරුවන් මහතා සහ ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයින්ගේ සංගමයේ ලේකම්, ප්‍රශාන් විජේනායක මහතා ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයින්ගේ සංගමයේ නිලධාරීන් මෙන්ම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන්හි මාධ්‍ය වේදීන් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

මෙම තරඟාවලිය සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වීමට දිවයිනේ ප්‍රධාන පෙළේ සමාගම් කීපයක් ඉදිරිපත් වී සිටියහ. එම මූල්‍යමය දායකත්වය සනිටුහන් කරමින් ‘Shell Lubricants’ ආයතනයේ අධ්‍යක්ෂක හා ප්‍රධාන විධායක නිලධාරී, එල්පී තිලකරත්න මහතා, ‘CEAT Marketing’ පුද්ගලික ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් කලමණාකාර, බ්‍රිශ්රි ලතීෆ් මහතා, ‘Stafford Motors’ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, චාරක පෙරේරා මහතා, ‘Elephant House’ පුද්ගලික සමාගමේ සක්‍රීය වෙළඳ නාම කළමණාකරු, ප්‍රේමලා පෙරේරා මහතා, ප්‍රීමා ආහාර නිෂ්පාදන පුද්ගලික සමාගමේ විශේෂ සිදුවීම් කළමණාකරු, ධනේෂ් විමලචන්ද්‍ර මහතා, ‘Mahindra Motors’ සමාගමේ සහකාර අලෙවි කළමණාකරු, සාලික විජේසිංහ මහතා සහ ‘MC Larens Lubricants’ සමාගමේ අධ්‍යක්ෂක, චමින්ද ගුණරත්න යන මහත්වරුන් විසින් ප්‍රේශණපත් ප්‍රදානය කිරීම සිදු කරන ලදී.