මුල්ලිකුලම් ජනතාව වෙනුවෙන් ඉඩම් අක්කර 100 ක් පමණ නිදහස් කිරීමට නාවික හමුදාව පියවර ගනී
 

මුල්ලිකුලම් ප්‍රදේශයේ වෙසෙන ජනතාව වෙනුවෙන් ඉඩම් අක්කර 100 ක් පමණ නිදහස් කිරීමට නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (29) දින එකගතාවය පළ කරන ලදී. නාවික හමුදාධිපතිතුමන් වයඹ නාවික විධානයේ නිරීක්ෂණ චාරිකාවාරයක නිරත වූ අතර, එහිදී එම ප්‍ර‍දේශයේ ජනතාව සමග සිදු කළ සුහද කතාබහක දී ඔහු විසින් මෙම අදහස් දැක්වීම සිදු කර ඇත. නාවික හමුදාව මීට පෙර අවස්ථාවක ද එම ප්‍රදේශයේ ඉඩම් අක්කර 300 ක් නිදහස් කිරීමට සූදානමින් පසුවිය. මෙම සාකච්ඡාවේ ප්‍රථිපලයක් වශයෙන් ‘Church Our Lady of Assumption Paris Council’ දේවස්ථානය ආශ්‍රිත කළාපයේ පිහිටි කෘෂිකාර්මික ඉඩම් අක්කර 100 ක පමණ භූමි භාගයක නැවත පදිංචි වීම සඳහා එම ජනතාව කැමැත්ත පළ කර තිබේ.

මුල්ලිකුලම් ප්‍රදේශයේ මේ වන විට පවුල් 185 ක් පමණ සිය ලියාපදිංචිය තහවුරු කර ගෙන ඇත. මේ අතර, නාවික හමුදාව එම ජනතාවගෙන් ඉල්ලා සිටියේ, නාවික හමුදා කදවුර තුළ පිහිටි සිවිල් ජනතාවගේ නිවාස වෙනුවට ඉදි කර දුන් නව නිවාස 27 මෙම නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීම උදෙසා නාවික හමුදාවට භාර දෙන ලෙසත්, ඔවුන්ගේ මුල් නිවාසයන්හි නැවත පදිංචියට පැමිණෙන ලෙසත්ය. මෙම ඉල්ලීමට මොවුන් තරමක අකමැත්තක් පළ කළ හෙයින්, කදවුරේ උතුරු සීමාව ආශ්‍රිතව පිහිටා ඇති ගොඩනැගිලි 27 න් ක්‍රමානුකූලව ඉවත් වීම සඳහා නාවික හමුදාවට මාස 8 ක කාල සීමාවක් ඉල්ලා සිටි අතර, මේ සඳහා ඔවුන් සිය කැමැත්ත නාවික හමුදාව වෙත පළ කෙරිණි.

මේ අතර, නාවික හමුදාධිපතිතුමා එහිදී ප්‍රකාශ කර සිටියේ ප්‍රදේශයේ ජනතාව කඩිනමින් නැවත පදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත්, ඔවුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් සහ ගැටළු සම්බන්ධයෙන් අවශ්‍ය උපකාර මෙන්ම මැදිහත්වීම් සිදු කිරීමට නාවික හමුදාව පූර්ණ සූදානමකින් සිටින බවත්ය. ප්‍රදේශයේ ජන ජීවිතය ඉහල නැංවීමේ අරමුණින් එම ප්‍රදේශයේ සමාජ සහ ප්‍රජා සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා නාවික හමුදාවේ අවශ්‍ය සහාය ලබා දෙන බවට ද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

අතිගරු ජනාධිපතිතුමන්ගේ උදාරතර සංකල්පයක් ක්‍රියාවට නැංවීමේ ප්‍රථිපලයක් වශයෙන්, උතුරු සහ නැගෙනහිර පළාත්වල අවතැන්ව සිටින ජනතාව ක්‍රමානුකූලව නැවත එම ප්‍රදේශ වල පදිංචි කිරීම සඳහා නාවික හමුදාව අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතී.

එම අවස්ථාව සඳහා මන්නාරම ප්‍රදේශය භාර වැඩ බලන අගරදගුරු වික්ටර් සුසෙයි පියතුමන්, අරිප්පු ක්‍රිස්තියානි දේවස්ථානයේ මාර්ක්ස් පියතුමන්, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩයිකලනාදන් මහතා, ඉලන්කෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිමලනාදන් මහතා, මූසාලි ප්‍රදේශයේ දිස්ත්‍රික් ලේකම්, සෙල්ලදුරෙයි කැතීශ්වරන් මහතා, වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රසික දිසානායක මහතා සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.