200 වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ උදාරතර සංකල්පයකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ කපිතාන් ප්‍රියංකර දිසානායක මහතාගේ නායකත්වය යටතේ සමාජීය ගැටළු සඳහා විසදුම් සෙවිම ඉලක්ක කර‍ ගත් වැඩ පිළිවෙලක් ආරම්භ කරන ලදි. එහි පළමු පියවර වශයෙන් 2015 දෙසැම්බර් මස 22 වන දින පූනෑව සහ කඩවත්රබෑවයන ගම්මානයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් අඩු පිරිවැයකින් නිපදවා ස්ථාපනය කිරීම සිදු කෙරිණි.

එම කර්තව්‍යත් සමග ආරම්භ කෙරුණු මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන මගින් අද (5) කුරුණෑගල, දම්බඩවත්ත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී 200 වන ජල පිරිපහදු යන්ත්‍රය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ සුරතින් විවෘත කෙරිණි. මෙහිදී නාවික හමුදාධිපතිතුමන් විසින්, එම කර්තව්‍ය සාර්ථකව සිදු කර ගෙන යාම සඳහා සම්බන්ධ වූ ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය වෙත සිය හෘදයංගම ස්තූතිය පුද කරන ලදී.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, වයඹ නාවික විධානය භාර ආඥාපති රසික දිසානායක මහතා, ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයන් ඇතුළු එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වන ලදී.

මෙම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ස්ථාපනය කරන ලද ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 960 කට පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීමට අවස්ථාව උදා කර දී ඇති අතර, මෙම ජල පිරිපහදු යන්ත්‍රය සඳහා, ශ්‍රී ලංකා නාවික හමුදා සමාජ සත්කාරය මගින් මූල්‍යමය දායකත්වය ලබා දී ඇත.

එමෙන්ම මෙම නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහන ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශීය රටවලද පැසසුමට ලක් වී ඇති අතර,එමගින් ප්‍රජා සංවිධාන වල මූල්‍යය ආධාරයන් මතද, ජල පිරිපහදුයන්ත්‍ර නිෂ්පාදනය කර වකගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශවල ස්ථාපිත කර මෙම සමාජ සත්කාරක වැඩසටහන ඉදිරියට සිදුකරමින් පවතී.ඒ අනුව විදේශීය සංවිධානයක් වන ෆයර් ෆ්ලයි මිෂන් සිංගප්පූරු ආයතනය, පින සංවිධානය, දේශීය රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවන වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය, පොලිස් දෙපාර්තමෙන්තුව, බුද්ධශාසන අමාත්‍යංශය, ශ්‍රී ලංකා රේගුව, සොඳුරු හිතැත්තෝ සංවිධානය, ගාලුමුවදොර හෝටල් පදනම සහ සිරස ගම්මැද්ද දින 100 වැඩසටහන මෙම සමාජ සත්කාරයට මුල්‍ය දායකත්වය සපයමින් සිටී.

මේ වන විට අප රටේ අනාගතය භාර ගැනීමට සිටින සිප්සතර හදාරන දු දරුවන් මෙම මාරාන්තික වකගඩු රෝගයෙන් මුදවා ගැනීම සඳහා පාසල් 56 ක ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පාසල් දරුවන් 75000 කට අධික ප්‍රමාණයකට පිරිසිදු පානීය ජලය සැපයීමට නාවික හමුදාව සමත් වී ඇත. මෙම රෝගයෙන් පීඩා විදින දිස්ත්‍රික්ක 11 ක් ආවරණය වන පරිදි මෙම යන්ත්‍ර සවිකර පවුල් 100000 කට වැඩි ප්‍රමාණයකට පිරිසිදු පානීය ජලය නොමිලේ ලබා දීමට කටයුතු කර ඇත.

2015 දෙසැම්බර් මස 22 වන දින ආරම්භ කෙරුණු මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන මගින් ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ කැපවීම සහ කාර්යක්ෂම බව මත ඉතා කෙටිකාලයක් තුළ 2017 ජනවාරි මස 14 වන දින 100 වැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර නිපදවීමට හැකි විය.එම සත්කාර්ය තව දුරටත් කඩිනම් වී අද විවෘත කෙ‍රුණේ එහි 200 වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයයි. මෙය දිවයිනේ ක්‍රියාත්මක වන සමාජ සත්කාරක සේවාවන් අතර, දැවැන්ත සමාජ මෙහෙවරක් වශයෙන් ඉතිහාසයට එක් වනු ඇත. තවද මෙම වැඩසටහන ජපන්, ශ්‍රී ලංකා තාක්ෂණික හා සංස්කෘතික සංගමය මගින් සංවිධානය කරන ලද JASTECA (Japan Sri Lanka Technical & Cultural Association) සම්මාන ප්‍රධානෝත්සවයේදී විශේෂ සම්මානයකට පාත්‍රවිය. එය නාවික හමුදාව මගින් ආයතනික සමාජ වගකීම මැනවින් ඉටු කිරීම වෙනුවෙන් වූ විශේෂ සම්මානයකි.

තවද, මුලික මිනිස් අවශ්‍යතායක් වන පිරිසිදු පානීය ජලය නොමැතිකමින් පීඩා විදින ජනතාවට නොකඩවා පානීය ජලය ලබා දීමේ අරමුණින් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය වැඩිදියුණු කරමින් මුහුදු ජලය පිරිසිදු කිරීමේ යන්ත්‍රයක් (Sea water plant ) නිපදවීමට ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය කටයුතු කරමින් සිටී. තවද වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය විසින් වෙන් කරනු ලබන ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් මේකී යන්ත්‍ර නිෂ්පාදනය කරන අතර, නාවික හමුදා පර්යේෂණ ඒකකය මේ වන විට රුපියල් මිලියන 30 ක් පමණ ඉතිරිකිරීමට සමත්ව ඇත. එම ඉතිරි මුදල් මගින් සුර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මක ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර නිපදවීමට සමත්ව ඇත. ඒ අනුව මේ වන විට සුර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මක ජල පිරිපහදු යන්ත්‍ර 15 ක් පමණ ස්ථාපිත කර ඇති අතර,මෙවැනි සුර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මක ජලපිරිපහදු යන්ත්‍ර 30 ක් නාවික හමුදාව විසින් විවිධ ප්‍රදේශ වල ස්ථාපිත කිරීමට සැලසුම් කොට ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන නඩත්තු ඒකකකයේ කැපවීම පිළිබිඹු කරන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර අක්‍රීය නොවී පැය 24 පුරාවටම ක්‍රියාකාරි තත්ත්වයේ පවත්වා ගැනීමට සමත් වී ඇත. තවද, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන වලින් සවිකරන ලද එවැනි අක්‍රිය තත්ත්වයේ තිබු යන්ත්‍ර 94 කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ නඩත්තු අංශය මගින් ඉතා ‍කෙටිකාලයක් තුළ නොමිලේ අලුත්වැඩියා කර පිරිසිදු පානීය ජලය ලබා දීමට කටයුතු කළ අතර,ඒ සම්බන්ධයෙන් ඔවුන් සිය හෘදයංගම ස්තූතිය නාවික හමුදාධිපතිතුමා ප්‍රධාන සමස්ථ නාවික හමුදාවට පිරිනමන ලදී.

ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර රැසක් වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානම් සහිත ප්‍රදේශයන්හි ස්ථාපනය කිරීමට නාවික හමුදාව‍ කටයුතු කරමින් සිටී. එමෙන්ම මෙම කර්තව්‍ය රජයේ වකුගඩු රෝග නිවාරණ වැඩසටහනේ ජාතික මෙහෙවරක් බවටද පත් වී ඇත.