සර්වඥ ධාතුන් වහන්සේලා නාහමු වෙත වැඩම කෙරේ
 

ඊයේ (4) තිස්සමහාරාමයේ සඳගිරි මහ සෑයේ සිට ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මගින් වැඩම කරවන ලද සර්වඥ ධාතුන් වහන්සේලා අද උදේ 0900 වන විට නාවික හමුදා මුලස්ථානය වෙත වැඩම කරවන ලදී. එම ධාතුන් වහන්සේලා නාවික හමුදා මූලස්ථානයේ ඉදි කරන ලද විශේෂ පීඨිකාවක් මත තැන්පත් කොට ඇති අතර අද දින 1500 පැය දක්වා නාවික පුද්ගලයින්හට වැඳ පුදා ගැනීමට කටයුතු සුදානම් තිබුණි. මෙකී ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා ද එක් විය.

ඊයේ සවස 1700 පැයට හම්බන්තොට වරායෙන් ගමන් ආරම්භ කළ සයුර නෞකාව පැය 14 ක් ගමන්කර මුහුදු සැතපුම් 140 ක් ගෙවා අද උදේ 0800 පැයට කොළඹ වරායට ළඟා විය. නෞකාව මත විශේෂ පීඨිකාවක තැන්පත් කර තිබූ ධාතුන් වහන්සේලා අණදෙන නිලධාරි කපිතාන් ඒඑස්එල් ගමගේ මහතා විසින් බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා වෙත පිළිගන්වන ලදි. ඔහු විසින් ධාතුන් වහන්සේලා තැන්පත් කරන ලද කරඩුව නෞකාවේ සිට ජැටිය වෙත වඩමවා ගෙන එන ලදී. එතැන් සිට විශේෂ රිය පෙරහැරකින් වැඩම කරවන ලද ධාතුන් වහන්සේලා නාවික හමුදා මූලස්ථානයේ දී අධ්‍යක්ෂක ජෙනරාල් පරිපාලන කොමදෝරු මුදිත ගමගේ විසින් පිළිගෙන නාවික හමුදා මූලස්ථානය අසල විචිත්‍රවත් ලෙස ඉදි කරන ලද ධාතු තැන්පත් කිරීමේ විශේෂ පීඨිකාව මත තැන්පත් කරන ලදි. සවස 1500 පැයට සිදු කෙරුණු ආගමික වතාවත් වලින් අනතුරුව, නාවික හමුදාධිපතිතුමන් විසින් නාවික හමුදා මූලස්ථානයේ සිට පිටතට වැඩම කරවන ලද ධාතුන් වහන්සේලා කොළඹ ගංඟාරමය වෙත වැඩම කරවීම විශේෂ රිය පෙරහැරක් මගින් සිදු කෙරුණි.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙල හා සමගාමීව නාවික හමුදාව විසින් තවත් විවිධ වැඩසටහන් කිහිපයක් සංවිධානය කොට තිබේ. ඒ අතර සර්වඥ ධාතුන් වහන්සේලා සයුර නෞකාවෙන් වැඩමවීම, නාවික හමුදා මූලස්ථානයේ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීම, වෙසක් පහන් කූඩු තරඟය, සංස්කෘතික පෙරහැර, කඩල දන්සැල ඒ අතර ප්‍රධාන වේ.

වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිරස රූපවාහිනී නාලිකාව හා එක්ව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙලට සමගාමීව මෙම ධාතුන් වහන්සේලා වැඩම කරවීම සිදු කෙරුණි.