ශ්‍රීලංනානෞ සාගර සහ නන්දිමිත්‍ර නෞකාවන් සිංගප්පුරුව බලා පිටත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකාවන් වන ශ්‍රීලංනානෞ සාගර සහ නන්දිමිත්‍ර යන නෞකාවන් සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනය සඳහා සහභාගී වීම පිණිස අද(5) කොළඹ වරායෙන් සිංගප්පුරුව බලා යාත්‍රා කරන ලදි. ශ්‍රීලංනානෞ සාගර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් අනුර ධනපාල මහතා කටයුතු කරනු ලබන අතර, කපිතාන් නිශාන්ත පීරිස් මහතා ශ්‍රීලංනානෞ නන්දිමිත්‍ර නෞකාවේ අණදෙන නිලධාරී ලෙස රාජකාරි කරනු ලබයි.

එම නෞකාවන් මැයි මස 12 වන දින සිට 18 වන දින දක්වා සිංගප්පූරුවේ රැදී සිටින අතර, මෙම ප්‍රදර්ශනය සඳහා සාගර සහ නන්දිමිත්‍ර නෞකා ද්විත්වයෙන් නිලධාරින් 34 ක් ඇතුළුව නාවික පුද්ගලයින් 290 දෙනෙක් සහභාගිවනු ඇත.

තවද, එම සංචාරයේදී යුද නැව් සංදර්ශනය, අන්තර්ජාතික සාගරික ආරක්ෂක සම්මන්ත්‍රණය, ජාත්‍යන්තර මුහුදු ඉංජිනේරු සමුළුව, නාවික හමුදා ජාල වැඩසටහන යන වැඩසටහන් වලට මෙම නෞකා ද්විත්වයේ නාවික පුද්ගලයින් සහභාගී වීමට නියමිතය.

ශ්‍රීලංනානෞ සාගර සහ නන්දිමිත්‍ර නෞකාවන් ද්විත්වය මැයි මස 18 වන දින සිය කර්තව්‍යයන් සාර්ථක ලෙස නිමා කරමින් සිංගප්පුරුවෙන් නැවත ශ්‍රී ලංකාව බලා යාත්‍රා කිරීමට නියමිතව ඇත.