Colombo Supercross -2017 ධාවන තරඟාවලිය මැයි 7 වන දින වැලිසර දී පැවැත් වේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රථමවරට ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලබන Colombo Supercross – 2017 තරඟාවලිය හෙට (7) උදෑසන 0830 පැයට වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී පැවැත් වේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වීමට නියමිතය.

යතුරු පැදි අංශයේ තරඟ 10 ක් මෙන්ම මෝටර් රථ අංශයේ තරඟ 12 කින් යුක්ත මෙම Colombo Supercross – 2017 තරඟාවලියේ, ඒ ඒ තරඟ අංශයන් සඳහා යතුරු පැදි කරුවන් 125 ක් සහ මෝටර් රථ ධාවකයන් 85 ක් සමගින් 200 කට අධික ක්‍රීඩකයන් පිරිසක් සහභාගි වීමට නියමිතයි.

මෙහි ඇති යතුරු පැදි ධාවන පථය කිලෝමීටර් 1.8 ක දිගකින් යුක්ත වන අතර, එය වංගු සහිතව සකසා ඇති ශ්‍රී ලංකාවේ විශාලම පිම්මක් සහිත ධාවන පථය ලෙස හඳුන්වා දිය හැක. ධාවන පථය පිහිටි භූමි ප්‍රදේශය මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ ගමන් මාර්ගය මනා ලෙස නිරීක්ෂණය කර ගත හැකි වන අයුරින් නිර්මාණය කර ඇත. එමෙන්ම, ධාවන තරඟ සඳහා එක්වන තරඟකරුවන්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ට ද දිවයිනේ අන් කවර ධාවන පථයකින් ලබා ගත නොහැකි නව අත්දැකීමක් ලබා ගැනීමට හැකි වනු ඇත. තවද, ධාවන පථය දෙපස පිහිටි උස් වේදිකාව මත සිට ප්‍රේක්ෂකයින් 10,000 කට පමණ පහසුවෙන් තරඟ නැරඹීමේ අවස්ථාව සළසා දී ඇත.

මෙම තරඟාවලිය සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වීමට දිවයිනේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් ඉදිරිපත් වී සිටින අතර, Shell Lubricants ආයතනය, CEAT Marketing පුද්ගලික ආයතනය, ‘Stafford Motors’ සමාගම, ‘Elephant House’ පුද්ගලික සමාගම, Mahindra Motors සමාගම සහ ‘MC Larens Lubricants’ සමාගම ප්‍රධාන වේ.

මෙම තරඟ සංවිධානයෙන් ලැබෙන අරමුදල්, සටනේදී මිය ගිය, ආබාධිත තත්ත්වයට පත් වූ නාවික රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් හට මෙන්ම නාවික පුද්ගලයින්ගේ සුභසාධන කටයුතු සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.