Colombo Supercross -2017 ධාවන තරඟාවලිය වැලිසරදී පැවැත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රථමවරට ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලබන Colombo Supercross – 2017 තරඟාවලිය අද (7) වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී සාර්ථක අයුරින් පැවැත්විණි. නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරාධනය පරිදි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ‍නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් තරඟ ආරම්භ කිරීම සඳහා ප්‍රථමයෙන් ධාවන පථය විවෘත කිරීම සිදු කරන ලදි.

දිවයිනේ ප්‍රමුඛ පෙළේ යතුරුපැදි ධාවකයින් සහ මෝටර් රථ ධාවකයින් මෙම තරඟාවලිය සඳහා සහභාගි විය. ඒ අනුව යතුරුපැදි කරුවන් 125 ක් සහ මෝටර් රථ ධාවකයින් 85 දෙනෙකු මෙම තරඟාවලිය සඳහා සහභාගි වූ අතර විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මෙම තරඟාවලිය නැරඹීමට එක්ව සිටියහ. තරඟාලියේදී යතුරුපැදි අංශයේ තරඟ 10 ක් මෙන්ම මෝටර් රථ අංශයේ තරඟ 12 ක් සමගින් සමස්ත තරඟ ඉසව් 22 ක් පවත්වන ලදි. මෙහිදී දිවයිනේ සිටින දක්ෂ මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සුවිශේෂි හැකියාවන් හා දක්ෂතා දැක බලා ගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමි විය.

මෙහිදී ඉසව් කීපයක ජයග්‍රහණ අත්කර ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයින් සමත් විය. ඒ අනුව, පහත සඳහන් ජයග්‍රහණ නාවික හමුදාව විසින් දිනා ගන්නා ලදි.



125cc Standard Modified Motorcycles

ප්‍රථම ස්ථානය - බල නාවික එම්එම් පෙරේරා

Standard Modified Motorcycles 250cc Race 1

පළමු ස්ථානය - සමාන්‍ය නාවික ෂානුක සඳරුවන්

Racing Motorcycles 250cc Race 2

පළමු ස්ථානය - සමාන්‍ය නාවික ෂානුක සඳරුවන්

Standard Modified Motorcycles 250cc Race 2

පළමු ස්ථානය - සමාන්‍ය නාවික ෂානුක සඳරුවන්

Racing Motorcycles 250cc Race 1

දෙවන ස්ථානය - සමාන්‍ය නාවික ෂානුක සඳරුවන්

Best Rider of Colombo Supercross

සමාන්‍ය නාවික - ෂානුක සඳරුවන්

මෙම අවස්ථාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ස්වේචිඡා නාවික හමුදා මුලස්ථානයේ ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා, අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති නිරාජ ආටිගල මහතා, ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමයේ නිලධාරීන්, නාවික නිලධාරීන් හා නාවිකයන් මෙන්ම ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

මෙම තරඟ සංවිධානයෙන් ලැබුණ අරමුදල්, සටනේදී මිය ගිය, ආබාධිත තත්ත්වයට පත් වූ නාවික රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් හට මෙන්ම නාවික පුද්ගලයින්ගේ සුභසාධන කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතව ඇත.