ගංඟාරම විහාරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කලාපයේ දෙවන දිනය ආලෝකමත් කිරීමට නාවික හමුදාධිපතිතුමා එක් වෙයි
 

2017 අන්තර්ජාතික වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු, නරේන්ද්‍ර සිං මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන් ඊයේ (11) හුණුපිටිය, ගංගාරාම විහාරස්ථ සීමාමාලක පරිශ්‍රයේදී බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කෙරුණි.

එහි දෙවන දිනය වන අද (12) සියළු ආගමික කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරී තිබුණි. ඒ අනුව එම වෙසක් කලාපය විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් සිදු විය. එම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා විනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මිය ද සහභාගී විය.

එහිදී, ප්‍රථමයෙන්ම නාවික හමුදාධිපතිතුමන් සහ එම මැතිණිය විස්න ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනාමාන කර ගැනීම සිදු විය. ඉන් අනතුරුව නාවික පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් නාවික හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ, පංච තූර්ය වාදනය හමුවේ නාවික හමුදාධිපතිතුමන් විසින් ගංඟාරම විහාරස්ථානයේ සිට සීමා මාලක පරිශ්‍රය දක්වා පෙරහැරක් මගින් සධාතුක කරඩුව වැඩම කරවන ලදි. ඉන් පසුව, චීනයේ සෙන් ජින් නගරයේ, කොන්ෆා විහාරාධිපති, අතිපූජ්‍ය ඉන් ෂුන් නායක හිමිපාණන් සහ නාවික හමුදාධිපතිතුමන් අතින් වෙසක් කලාපය ශඩ් වර්ණයන්ගෙන් ආලෝකමත් කිරීමේ කර්තව්‍යය සිදු කෙරිණි.

හුණුපිටිය ගංගාරාමාධිපති අධිකරණ සංඝනායක අතිපූජ්‍ය ගලබොඩ සිරි ඤාණිස්‌සර නාහිමිපාණන් විසින් පැමිණ සිටි පිරිස පංචශීලයෙහි පිහිට වූ අතර, ඉන් අනතුරුව උන්වහන්සේ විසින් විශේෂ දේශණයක් ද පැවැත්වීය. තවද, චීනයේ කොන්ෆා විහාරාධිපති, අතිපූජ්‍ය ඉන් ෂුන් නායක හිමිපාණන් විසින් බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යයේ විසිතුරු අසිරිය හා පූජනීයත්වය පිළිබඳව උන්වහන්සේගේ අදහස් ඉදිරිපත් කළහ.

විවිධ රටවල් නියෝජනය කරමින් වැඩමවා සිටි ගරුතර මහා සංඝරත්ණය, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු හා ඉඩම් අමාත්‍ය, ගරු ජෝන් අමරතුංග මහතා, ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසංධාන රාජ්‍ය අමාත්‍ය ගරු. ඒඑච්එම් ෆවුසි මහතා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, දේශීය මෙන්ම විදේශීය ප්‍රභූ පුද්ගලයන්, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, නාවික පුද්ගලයන් සහ බැතිමතුන් අති විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.