වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පෑළියගොඩ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී අද (13) පස්වරු 1300 පැයට වත්තල, මාබෝල ප්‍රදේශයේදී වේදනා නාශක ඖෂධ පෙති 400 ක් සමග පුද්ගලයන් දෙදෙ‍නෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

මෙම ඖෂධ පෙති මත්විම සඳහා භාවිතා කරන අතර, එම මත් පෙති තොගය නීති විරෝධී ලෙස යතුරුපැදියක් මගින් වත්තල ප්‍රදේශයේ බෙදාහැරිම සඳහා ප්‍රවාහනය කරමින් සිටියදී මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයන් දෙදෙනා, ඖෂධ තොගය සහ යතුරුපැදිය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා පෑළියගොඩ පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.