ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් අද (20) ජනතා අයිතියට පත් කෙරෙණි. ඒ අනුව, වව්නියාව, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ස්ථාපනය කරන ලද ජල පිරිපහදු යන්ත්‍ර මෙසේ ජනතා අයිතියට පත් විය.

මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර සදහා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය මගින් මූල්‍යමය දායකත්වය ලබාදී ඇත. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශය අවට පවුල් 365 කට සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් ඒ අවට පවුල් 425 කට සිය පිරිසිදු පානිය ජල අවශ්‍යතාවය ලබා ගැනිමට හැකියාව ලැබී ඇත.

නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙම ජල පිරිපහදු යන්ත්‍ර නිෂ්පාදනය කර ඇත. මේ දක්වා මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 202 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 100,790 කට හා පාසැල් දරු දැරියන් 75,000 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය බෙදා දීමට නාවික හමුදාව කටයුතු කරමින් ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජලපිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.