ආපදාවකට ලක් වූ ධීවර යාත්‍රාවක් ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

ආපදාවකට ලක්ව මුහුදේ අතරමංව තිබූ ‘තිලක් 1’ නැමති බහුදින ධීවර යාත්‍රාව නිරුපද්‍රිතව යළි ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (20) සහාය විය. පසුගිය 7 වන දින ධීවරයින් 6 දෙනෙකු සමග මෙම යාත්‍රාව ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ අතර, පසුගිය 17 වන දින යාත්‍රාවේ එන්ජිමේ ඇති වූ කාර්මික ‍දෝෂයක් හේතුවෙන් මෙසේ අනතුරට පත්වී තිබුණි.

ඒ අනුව, ඊයේ (19) ගාල්ල ධීවර වරාය මගින් නාවික හමුදාවට ලබා දුන් තොරතුරකට අනුව ශ්‍රීලංනානෞ ජයසාගර නෞකාව ඔවුන් මුදවා ගැනීමේ කටයුතු සඳහා පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. නෞකාව මගින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මහා රාවණා ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 72 ක් පමණ වූ මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රාව සහ ධීවරයින් ආපදාවකින් තොරව මුදවා ගැනීමට නාවික හමුදාවට හැකි විය.

ඉන් අනතුරුව ජයසාගර නෞකාවේ නාවික පුද්ගලයින් විසින් අනතුරට පත් යාත්‍රාවේ සිටි ධීවරයින් හට අවශ්‍ය ආහාර සහ පානීය ජලය ලබා දීමට කටයුතු කරන ලදී. ඉන් අනතුරුව, ඔවුන් නෞකාව ආධාරයෙන් රැගෙන ඒමෙන් අනතුරුව හම්බන්තොට වරායට නාවික සැතපුමක් පමණ දුරකදී ඔවුන් තවත් බහුදින ධීවර යාත්‍රාවක් වෙත භාර කෙරිණි.