ප්‍රථම වරට නිෂ්පාදනය කළ කුඩා ජල පිරිපහදු යන්ත්‍රය නාවික රණවිරු පවුලක් වෙත පරිත්‍යාග කෙරේ
 

නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් ප්‍රථම වතාවට නිෂ්පාදනය කරන ලද කුඩා ප්‍රමාණයේ ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් පසුගිය 25 වන දින නාවික රණවිරු පවුලක් වෙත ප්‍රදානය කරන ලදී.

මෙම ජල පිරිපහදු යන්ත්‍රය ප්‍රදානය කරන ලද්දේ කුරුණෑගල මාස්පොත ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්තව රාජකාරී නියුතුව සිටි ප්‍රධාන සුළු නිලධාරී ඩීඑම්ආර්පීකේ දිසානායක ජ්‍යෙෂ්ඨ නාවිකයාගේ පවුලේ සාමාජිකයන් වෙතය. ඔහු මානුෂීය මෙහෙයුමේ අවසන් අදියර ක්‍රියාත්මක වන කාල සීමාවේදී එනම් 2009 අප්‍රේල් මස 30 වන දින ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව සිය මාතෘ භූමිය වෙනුවෙන් ජීවිතය කැප කළ නාවික රණවිරුවෙකි.

මෙම කුඩා ප්‍රමාණයේ ජල පිරිපහදු යන්ත්‍රය මගින් නිවසේ දෛනික කටයුතු සදහා අවශ්‍ය පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකි වන අතර, එය ඉතා අඩු පිරිවැයක් දරමින් කෙටි කාලයක් තුළ නිෂ්පාදනය කිරිමට නාවික පර්යේෂණ සහ සංවර්ධන ඒකකයට හැකි වී ඇත.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් ලෙස ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කොට මහජනතා‍වගේ ප්‍රයෝජනය සඳහා ලබා දීම හදුන්වා දිය හැක. එහි තවත් එක් විශේෂිත අවස්ථාවක් ලෙස මෙම ජල පිරිපහදු යන්ත්‍රය ප්‍රදානය කිරීම සනිටුහන් වනු ඇත. වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුණ වේ.

මේ දක්වා මෙවැනි ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 203 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 100,790 කට හා පාසැල් දරු දැරියන් 75,000 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.