නාවික හමුදාව සමුද්‍රීය ආරක්ෂක රාජකාරී මගින් සේවා ගමන් වාර 10000 ඉක්මවයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා සමුද්‍රීය ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව, මේ දක්වා කොළඹ සහ ගාල්ල යන මෙහෙයුම් මධ්‍යස්ථානයන් ගෙන් සිදු කළ සේවා ගමන් වාර සංඛ්‍යාව 10,000 ඉක්මවා ඇත. 2015 නොවැම්බර් මස 13 වන දින සිට මෙම මෙහෙයුම් මධ්‍යස්ථානයන් හරහා සිදු කළ 10,000 අධික ගමන් වාර සංඛ්‍යාවක් මගින් රුපියල් 3,510,517,197.10 ක් පමණ ආදායමක් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා ආරක්ෂක පහසුකම් රාජකාරි තුළින් රජයට අත්කරදීමට නාවික හමුදාවට හැකිවි තිබේ.

සාගරික ආරක්ෂක මෙහෙයුම් රාජකාරී කර්තව්‍යක් වශයෙන් සැළකෙන මෙම ක්‍රියාවලිය සඳහා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය සපයනු ලබන අතර, එමගින් සාගරික කටයුතුවල නිරත වන පාර්ශවයන්හට ආරක්ෂිත සාගර කළාපයක් ඇති කිරීම මෙන්ම බාධාවකින් තොරව යාත්‍රා කිරීමේ අවස්ථාව ලබා දීම ද අපේක්ෂා කෙරේ.

ඒ අනුව, වෙළඳ නෞකාවන් සඳහා ආරක්ෂාව සපයනු ලබන සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සතු අවි ආයුධ ලබා ගැනීම, ගබඩා කිරීම සහ නිකුත් කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරෙණ වගකීම් වේ.

අතිගරු ජනාධිපති තුමන්ගේ උපදෙස් අනුව සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැළසීම නාවික හමුදාව විසින් භාර ගත් අතර, ඉන් උපයනු ලබන ආදායම රජයේ ඒකාබද්ධ අරමුදල වෙත සෘජුවම බැර කිරීමට කටයුතු කෙරේ.