නිලධාරින් 96 දෙනෙකු අධිකාරියට පත්කිරීමේ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා පාකිස්තානු නාවික හමුදාධිපති
 

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරින් 82 දෙදෙනෙකු සහ සේවා ප්‍රවේශ අපේක්ෂකයින් 14 දෙනෙකු ඊයේ (ජුනි 11) අධිකාරියට පත් කරන ලදී. මෙකී අධිකාරියට පත් කිරීමේ උළෙල නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්විණි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරාධනාවකට අනුව පාකිස්තානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් ශකාහුල්ලා මහතා එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

ඒ අනුව සිය මූලික පුහුණුව නිමකල 30 වන බඳවා ගැනීමේ මධ්‍ය නිලධාරින් 40 දෙනෙකු, 31 වන බඳවා ගැනීමේ මධ්‍ය නිලධාරින් 23 දෙනෙකු, ශිෂ්‍යභට නිලධාරි 55 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරින් 19 දෙනෙකු සහ 2016 සේවා ප්‍රවේශහි අපේක්ෂකයින් 14 දෙනෙකු ද ඇතුළුව 96 දෙනෙකු සිය නාවික දිවියේ සුවිශේෂි සංධිස්ථානයක් සනිටුහන් කරමින් ඊයේ දින විසිර යන ලදී.

‍මෙම උත්කර්ෂවත් අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ පකිස්ථානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් ශකාහුල්ලා මහතා රැස්ව සිටි පිරිස අමතමින් මෙම අවස්ථාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන් පළමුවෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාධිපති තුමන් වෙත හදපිරි කෘතඥතාවය පළ කරන බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනවයෙන් අධිකාරියට පත් නිලධාරීන් වෙත තම සුභ පැතුම් එක්කළ පකිස්ථානු නාවික හමුදාධිපති තුමන් තම ආදරණීය දූ පුතුන් මෙම උතුම් වෘත්තිය කරා පැමිණ වීමට දිරිදීම සහ සාඩම්‍බර දෙමාපියන් වශයෙන් දක්වන ලද සහයෝගයන් සම්බන්ධයෙන් ස්තුතිය පල කරන ලදී.

තවද අද දින විසිර යන ලද නිලධාරීන් ඇමතූ ඒ මහතා කියා සිටියේ විජයග්‍රාහී නාවික හමුදාවක පාර්ශව කරුවන් වශයෙන් තමන් වෙත පැවරී ඇති වගකීම මැනවින් අවබෝධ කරගත යුතු බවයි. එමෙන්ම සිය නායකත්ව හැකියාවන් ශාරීරික යෝග්‍යතාවන් සහ අභියෝගාත්මක අවස්තාවන් වලදී නිරවුල් මනසකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කමද තරුණ නිලධාරීන් හට අවධාරණය කරණ ලදී.

දෙරට අතර පවතින දීර්ඝ කාලීන ‍‍ඓතිහාසික මිතුදම පිළිබදව සඳහන් කරන පාකිස්ථානු නාවික හමුදාධිපති තුමන් ප්‍රකාශ කළේ අසල්වාසී රාජ්‍යයන් දෙක අතර පවතින සහයෝගය අ‍න්‍යෝන්‍ය ගෞරවය සහ වටිනාකම් හුවමාරුකර ගැනීම මත පදනම්ව පැවති බවයි. ‍ගෝලීය යහපත සඳහා සාමය සහ සාගරික යහපැවැත්ම ස්ථාපිත කිරීම වෙනුවෙන් තවදුරටත් සහය දක්වන බව ප්‍රකාශ කළ එතුමන් සිය පනස්වන සංවත්සරය සමරන නාවික හා සගරික විද්‍යාපීඨයට ස්වකීය සුභාසිංසනයද එක් කරන ලදී.

ගරුතර මහා සංඝරත්නය ඇතුළු අන්‍යා‍ගමික පූජකවරුන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නැගෙනහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා, නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රෝහිත පෙරේරා මහතා, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විසිර යන නිලධාරීන්ගේ දෙමාපියන් මෙම අධිකාරියට පත් කිරීමේ උත්සවය සඳහා සහභාගී වූහ.

මෙහිදී පහත සඳහන් නිලධාරීන් සම්මාන ලාභීන් ලෙස කුසලතා ලැබූහ

31 වන බඳවා ගැනීම - කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය

   
සම්මානනීය අසිපත හිමි දක්ෂතම මධ්‍ය නිලධාරියා   මධ්‍ය නිලධාරි සීඑස් සේරසිංහ
සමස්ත සහ වෘත්තීය විෂයයන් ගේ වැඩිම ලකුණු ලබා ගත්
මධ්‍ය නිලධාරියා
  මධ්‍ය නිලධාරි සීඑස් සේරසිංහ

සියළු විෂයයන් ගෙන් වැඩිම ලකුණු ලබා ගත්
මධ්‍ය නිලධාරියා

  මධ්‍ය නිලධාරි සීඑස් සේරසිංහ
හොඳම වෙඩික්කරු   මධ්‍ය නිලධාරි එච්ඒඅයිඩී හෙට්ටිආරච්චි
දක්ෂතම ක්‍රීඩකයා   මධ්‍ය නිලධාරි ඕඑස්එස් දන්ඔරුව

 

55 වන බඳවා ගැනීම - ශිෂ්‍යභට නිලධාරි

   
සම්මානනීය අසිපත හිමි දක්ෂතම මධ්‍ය නිලධාරියා   මධ්‍ය නිලධාරි පීඑස්එස් ගෝමස්
සමස්ත සහ වෘත්තීය විෂයයන් ගේ වැඩිම ලකුණු ලබා ගත්
මධ්‍ය නිලධාරියා
  මධ්‍ය නිලධාරි එච්එම්පීයූ සේනාරත්න
නාවික විෂයයන් ගෙන් වැඩිම ලකුණු ලබා ගත්
මධ්‍ය නිලධාරියා
  මධ්‍ය නිලධාරි එච්වී කොතලාවල
හොඳම වෙඩික්කරු   මධ්‍ය නිලධාරි කේජී ජයසිංහ
දක්ෂතම ක්‍රීඩකයා  

මධ්‍ය නිලධාරි එච්ඩීඑන් ප්‍රසාද්

     

නාවික හමුදා සංස්කෘතික කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබූ විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශණයකින් සහ නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් ඉදිරිපත් කරන ලද සංදර්ශණයකින් අනතුරුව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කරන ලද හිරු අස්ථය චාරිත්‍රයත් සමගින් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උළෙල නිමාවට පත් විය.