නාවික හමුදා මැරීන් භටයින් එක්සත් ජනපද නාවික හමුදාවත් සමඟ ආපදා සහන කටයුතු වල නිරත වේ.
 

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලේක් ඊරි නෟකාවෙන් පැමිණි සියයකට අධික නාවික පුද්ගලයින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බළකාය‍ට අයත් නාවිකයන් සමග එක්ව ගාල්ල සහ මාතර සහ කොළඹ දිස්ත්‍රික්ක වල මානුෂීය උපකාර සහ ආපදා සහන කටයුතුවල අද දින (ජුනි 12) නිරත විය.

මේ අනුව නාවික මැරීන් භ‍ටයන් 50ක් සහ එක්සත් ජනපද නාවික පුද්ගලයින් 119 ‍දෙනෙකු සමග එක්ව මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගග ආශ්‍රිත පැති බැමිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වල නිරත වීය. තවද මේ සදහා මාතර ප්‍රාදේශීය ඉංජිනේරු කර්යාලයේ සහයද ලබා ගත් අතර මේ අතර තවත් මැරීන් භටයින් 21 දෙනෙකු එක්සත් ජනපද නාවික පුද්ගලයින් 72 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයේ සහ කොළඹ තෝරාගත් ප්‍රදේශවල රතුකුරුස සමාජයේ සහය ඇතිව ප්‍රදේශයේ ළිං පිරිසිදු කිරීමේ සහ තවත් පුනරුත්ථාපන වැඩසටහන් කිහිපයක් දියත් කිරීමට කටයුතු කෙරිණි.

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලේක් ඊරි නෞකාව දෙසතියක පශ්චාත් ආපදා සහන සැලසීමේ ක්‍රියාන්විතයක් සදහා ඊයේ (ජුනි 11) කොළඹ වරායට පැමිණෙන ලදි.