වව්නියාව විශ්ව විද්‍යාලයේ ස්ථාපිත ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර (RO Plant) 2 ක් වව්නියාව විශ්ව විද්‍යාලයේ ඊයේ දින (ජුනි 12) විවෘත කෙරිණි.

මෙම විශ්ව විද්‍යාලයේ ජල ගැටඵව නාවික හමුදාව විසින් දැනගත් පසු ජංගම ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් උපයෝගි කර ගනිමින්ද ශිෂ්‍යයින්ගේ ජල ගැටඵව විසදා දිමට කටයුතු කරන ලදි. පසුව ඉතා කෙටි කලකින් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර දෙකක් ස්ථාපනය කර ශිෂ්‍යයින්ගේ ජල ගැටඵව විසදා අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කරගෙන යාමට අවකාශය සලසා දෙන ලදි.

මෙම ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර සදහා ජනාධිපති වකුගඩු නිවාරණ කාර්ය සාධන බලකායේ මුල්‍ය දායකත්වය ලැබි ඇත. අප රටේ දිස්ත්‍රික්ක 11 ක් පුරාවට පැතිරයන වකුගඩු රෝගය මැඩපැවැත්වීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් නිර්මාණය කරන ලද වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බළකාය මගින් දිවයින පුරා ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර මහජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී. අඩු පිරිවැයක් දරමින් පාසල් දරුවන් සහ ‍වකුගඩු රෝගයට ගොදුරු වී ඇති මහජනතාව මෙම මාරාන්තික රෝගයෙන් ගලවා ගැනීම සඳහා මධ්‍ය පරිමාණයේ ව්‍යාපෘතියක් ලෙස මෙම කර්තව්‍ය දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි දියත් කරමින් සිටී.

මේ දක්වා මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 209 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 102085 කට හා පාසැල් දරු දැරියන් 76420 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.