තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ස්ථාපනය කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර (RO Plant) 2 ක් දෙනියාය, මොරවක ප්‍රදේශයේ සහ අනුරාධපුර විද්‍යාධාර පිරිවෙනේ අද (ජූනි 13) විවෘත කරන ලදි.

පසුගියදා දිවයිනට ඇදහැඵනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බොහෝ ප්‍රදේශ වල ජනතාගේ පිරිසිදු පානීය ජලය ලබා ගැනිමේ මූලාශ්‍ර විනාශ වී ඇත. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලිම මත, නාවික හමුදාධිපතිතුමාගේ උපදෙස් අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් මොරවක ප්‍රදේශයේ ජංගම ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපනය කිරීමට ක්‍රියාත්මක විය. එම ප්‍රදේශය සදහා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය ඉතා කෙටි කලකින් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපනය කළ අතර, එමගින් 600 ක් පමණ සිවිල් ජනතාවකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දිමට කටයුතු කරන ලදි.

තවද අනුරාධපුර ශ්‍රී විද්‍යාධාර පිරිවෙනේ ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපනය කර එම පිරිවෙනේ ඉගෙනුම ලබන ශිෂ්‍යයින් 100 දෙ‍නෙක් සදහා පිරිසිදු පානීය ජලය ලබාදිමට කටයුතු කරන ලදි. මේ සදහා ජනාධිපති කාර්යය සාධන බලකායේ මුල්‍ය දායකත්වය ලබා දෙන ලදි.

මේ දක්වා මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 211 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 102685 කට හා පාසැල් දරු දැරියන් 76520 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.