තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 5ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් ලෙස වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු වස් එම ප්‍රදේශයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක.

ඒ අනුව, මැදිරිගිරිය බිසෝබංඩාර ගම්මානය, නාගර්පුර ගම්මානය, දිග්ගල්පුර ගම්මානය, දිවුලංකඩවල ගම්මානය සහ නාවික ස්ථානගත කිරිම් අමදුව යන ස්ථානයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 5 ක් අද (27) ජනතා අයිතියට පත් කිරීමට නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය කටයුතු කරන ලදී.

මැදිරිගිරිය බිසෝබංඩාර ප්‍රදේශයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් පවුල් 450 කට, නාගර්පුර ප්‍රදේශයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් පවුල් 375, දිග්ගල්පුර ප්‍රදේශයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් පවුල් 420, දිවුලංකඩවල ප්‍රදේශයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් ප්‍රදේශයේ පවුල් 360 ක් සහ නාවික ස්ථානගත කිරිම් අමදුව මගින් නාවික පුද්ගලයින් 30 දෙනෙකු සදහා ද පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකියාව උදා වනු ඇත. තවද මැදිරිගිරිය ප්‍රදේශයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍ර 4 සඳහා ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කාර්යය සාධන බලකායේ මූල්‍යමය දායකත්වය ලබා දී ඇත. නාවික ස්ථානගත කිරිම් අමදුව ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය සදහා නාවික හමුදාවේ මූල්‍යමය දායකත්වය ලබා දී ඇත.

නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිෂ්පාදනය කරන ලද ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 220 ක් මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර ඇත. එමගින් පවුල් 106,590 කට හා පාසැල් දරු දැරියන් 76,520 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.