කෝට්ටේ ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය
 

කෝට්ටේ, බැද්දගාන පාපන්දු ක්‍රීඩාංගනය අසල පවතින ඇල මාර්ග පද්ධතිය අපවිත්‍ර වී තිබූ අතර, එය පිරිසිදු කිරීම් කටයුතු සඳහා නාවික හමුදාව ඊයේ (27) සහාය දැක්වීය. මේ දින වල පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග රොන් මඩ, කැලි කසළ එකතු වීමෙන් සහ ජලජ පැලෑටි වලින් පිරී පැවතීම හේතුවෙන් එම ඇල මාර්ගය ජලය බැස යාමට නොහැකි වන සේ අවහිර වී පැවතිණි.

මෙසේ අපවිත්‍ර වී තිබූ ඇල මාර්ගය නිසා ප්‍රදේශයේ දුර්ගන්ධයක් පැතිරී තිබූ අතර, ලෙඩ රෝග බෝවීමේ අවධානමක් ද පැවතිණි. එම තත්ත්වය සැලවූ වහාම නාවික හමුදාව විසින් මෙය පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. ඒ අනුව නාවිකයන් 50 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම ඇල මාර්ගය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා එක් විය.

තවද, දිගින් කිලෝමීටර් 3 කින් පමණ සමන්විත ඇල මාර්ගය පිරිසිදු කිරීමේ කර්තව්‍ය සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ එක්ස්කැවේටර් යන්ත්‍රයක් ද යොදාගෙන තිබිණි.

පසුගිය කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ජල ගැලීම් මගින් මෙවැනි ඇල මාර්ග බොහොමයක් අවහිර වී තිබූ තිබිණි. ජලය බැස ගියද අවහිර වූ ඇල මාර්ග හේතුවෙන් එම ප්‍රදේශයන්හි ජනතාව ගැටළු රාශියකට මුහුණ දීමට සිදු විය.

ඉදිරියේදී ඇති විය හැකි වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ ජල ගැලීමක් ඇතිවුව හොත්, එමගින් සිදුවන ‍ආපදා තත්ත්වයන් අවම කිරීමේ අරමුණින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත ඇල මාර්ගයන් පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරනු ලබයි. නාවික හමුදාව විසින් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන සමාජ සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ද මෙය හදුන්වා දිය හැක.