ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් අවස්ථාවක් සනිටුහන් කරමින් පුත්තලම මදුරන්කුලිය සහ ගලෙන්බිදුනුවැව උපුල්දෙනිය යන ස්ථානයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් අද (29) දින ජනතා අයිතියට පත් කෙරිණි.

පුත්තලම මදුරන්කුලිය ගම්මානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 450 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකියාව උදා වනු ඇත. මේ සඳහා සිරස ගම්මැද්ද දින 100 වැඩසටහන මගින් මුල්‍යමය දායකත්වය ලබා දී තිබිණි. සිරස ගම්මැද්ද වැඩසටහන සහ නාවික හමුදාව එක්ව මේ වන විට මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 12 ක් විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර ජනතාවට පිරිසිදු පානීය ජලය නොමිලේ ලබා දීමේ ජාතික වැඩසටහනට දායකත්වය ලබා දී ඇත. ඉදිරියේදිත් නාවික හමුදාව සමග සම්බන්ධීකරණය වී සිරස ගම්මැද්ද වැඩසටහන මෙම ජාතික මෙහෙවරට දායක වන බව දන්වා ඇත.

වද, සිවිල් ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට නිරන්තර අවධානයෙන් සිටී. ඔවුන් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිපදවන ලද කුඩා ප්‍රමාණයේ දෙවැනි ජල පිරිපහදු යන්ත්‍රය ගලෙන්බිදුනුවැව මහතලාගම පිහිටි නායක කිමිදුම් (මියගිය) කේඒඑස්සී කුමාරගේ නිවසේ ස්ථාපනය කිරීමට කටයුතු කර ඇත. එමගින් එම නිවසේ දෛනික කටයුතු සඳහා අවශ්‍ය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකි වන අතර, මෙම යන්ත්‍රය ඉතා අඩු පිරිවැයක් දරමින් ඉතා කෙටි කාලයක් තුළ නිෂ්පාදනය කිරීමට ද නාවික පර්යේෂණ සහ සංවර්ධන ඒකකය සමත් වී ඇත.

නාවික හමුදාව විසින් මේ වන විට මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 222 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර ඇත. එමගින් පවුල් 107,040 කට හා පාසැල් දරු දැරියන් 76,520 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට හැකියාව ලැබී ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.