තැලසීමියා කවයේ නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

අසරණ තැලසීමියා රෝගීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන තැලසීමියා කවයේ නියෝජිතයින් කණ්ඩායමක් ඊයේ (29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. තැලසීමියා රෝගීන්ගේ රුධිරගත අයන ඉවත් කර රුධිරය පිරිසිදු කරන ඩිෆෙරොක්සමයින් ඉන්ෆියුසන් (Deferoxamine Infusion Pump) යන්ත්‍රය නිශ්පාදනය කර ඔවුන්ට ලබා දීමේ මහඟු කර්තව්‍ය ඉටු කිරීම වෙනුවෙන් සමස්ථ නාවික හමුදාවටත් නාවික හමුදාධිපතිතුමන් හටත් එම සාමාජිකයින් විසින් සිය හෘදයාංගම ස්තුතිය පුද කරන ලදී.

තැලසීමියා නික්ෂේපන යන්ත්‍ර සැපයුම් කරන එකම සැපයුම්කරු ශ්‍රී ලංකා නාවික හමුදාව වන අතර, එමගින් මෙම රෝගය වැලදීමෙන් ඇතිවන රුධිර සංකූලතා වැලැක්වීම සඳහා මහත් රුකුලක් ලබා දෙනු ලබයි. මෙම බැරෑරුම් කර්තව්‍යය සඳහා උර දෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ වන විට තැලසීමියා නික්ෂේපන යන්ත්‍ර 1521 ක් කුඩා දරු දැරියන් සහ තැලසීමියා රෝගී පුද්ගලයින් වෙත ප්‍රදානය කර ඇත.

මැයි මස 8 වන දිනට යෙදී තිබූ ලෝක තැලසීමියා දිනයට සමගාමීව සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය, ගරු වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේදී තැලසීමියා හා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක් සඳහා මුල්ගල තැබීම සිදු කෙරිණි. එහිදී, ගරු අමාත්‍යතුමන්ගේ ඉල්ලීමකට අනුව නාවික හමුදාධිපතිතුමන් විසින් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපන යන්ත්‍ර එම රෝගයට ගොදුරු වී සිටින දරුවන් හට ප්‍රථිකාර කිරීම සඳහා ලබා දීම සිදු කරන ලදී.

මෙම තැලසීමියා නික්ෂේපන යන්ත්‍රයක් සාමාන්‍ය වෙළඳපලේ රුපියල් 75,000 ක් හෝ 100,000 ක් අතර වටිනාකමකින් යුක්ත වන අතර, ඉතා උසස් මට්ටමින් යුතුව ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් නිපදවන එම යන්ත්‍රයක් සඳහා වැය වන්නේ රුපියන් 3,500 ත් 5,000 ත් අතර මුදලකි. මෙම මහඟු කර්තව්‍යය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රජා සත්කාරක අරමුදල මගින් මූල්‍යමය දායකත්වය ලබා දෙනු ලබයි.

මෙම සුහද සාකච්ඡාවේදී, තැලසීමියා රෝගී තත්ත්වයට ගොදුරු වී සිටින පුද්ගලයින් හට ප්‍රථිකාර කිරීම සඳහා ඉදිරියටත් නාවික හමුදාවේ පූර්ණ සහයෝගය ශ්‍රී ලංකා තැලසීමියා කවය වෙත ලබා දෙන බව නාවික හමුදාධිපතිතුමන් ප්‍රකාශ කරන ලදී. මෙම කර්තව්‍ය සම්බන්ධයෙන් නාවික හමුදාව විසින් දක්වනු ලබන දායකත්වය අගයනු වස් ඔවුන් විසින් විශේෂ සමරු තිළිණයක් ද නාවික හමුදාධිපතිතුමන් වෙත ප්‍රදානය කරන ලදී.