තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිවිල් ජනතාවගේ සුභසිද්ධිය උදෙසා විවිධ ප්‍රජා සේවාවන් රැසක් සිදුකරමින් පවතී. එහි එක් ප්‍රජා සේවාවක් ලෙස මාරාන්තික වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා එම ප්‍රදේශයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක. ඒ අනුව කුරුණෑගල ප්‍රදේශයේ රිදීගම, රන්තැටිඋයන ගම්මානයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ඊයේ (1) උත්සවාකාරයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

මෙම ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 350 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකියාව උදා වනු ඇත. මේ සඳහා ශ්‍රි ලංකා දිස්ත්‍රික් ගෑන්ඩි ලොජ් සංවිධානය (District Grand Lodge of Sri Lanka) මඟින් මුල්‍යමය දායකත්වය සපයා ඇත.

නාවික හමුදාධිපතිතුමාගේ උදාරතර සංකල්පයට අනුව වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානිය ජල අවශ්‍යතාවය සපුරාදීම වෙනුවෙන් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙම සමාජ මෙහෙවර උදෙසා දැඩි කැපවීමකින් කටයුතු කරනු ලබයි. එහි කාර්යක්ෂම බව හේතුවෙන් ඉතා කෙටි කලක් තුල අවම පිරිවැයක් දරමින් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 224 ක් මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 107,390 කට සහ පාසැල් දරු දැරියන් 76,520 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය ලබා දීමට කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී. එමෙන්ම නාවික හමුදාව විසින් දියත් කර ඇති මෙම සමාජ සත්කාරක වැඩසටහන ඉදිරියේදී වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරිමේ කර්තව්‍ය උදෙසා මහත් රුකුලක් වනු ඇත.

එමෙන්ම නාවික හමුදාව මඟින් ක්‍රියාත්මක කර ගෙන යනු ලබන මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශීය රටවල ද පැසසුමට ලක් වී ඇති අතර, විදෙස් රටවල්වල විවිධ ආයතනයන්ගේ මූල්‍යමය ආධාරයන් ද මෙම කර්තව්‍ය සිදු කර ගෙන යාම සඳහා ප්‍රදානය කරනු ලබයි.

මෙම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් දිස්ත්‍රික් ගෑන්ඩි ලොජ් සංවිධානය නියෝජිතයින් සහ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ. තවද මෙම නාවික හමුදා ප්‍රජා සත්කාරක සේවාව දිස්ත්‍රික් ගෑන්ඩි ලොජ් සංවිධානයේ නියෝජිතයින්ගේ ඉමහත් පැසසුමට ලක් විය. ඉදිරියටත් ශ්‍රි ලංකා නාවික හමුදාව සමග අත්වැල් බැදගනිමින් මෙම කර්තව්‍ය සඳහා අනුග්‍රහය දක්වන බව ද ඔවුන් එහිදී ප්‍රකාශ කරන ලදි.