ඉංජි‍නේරු කාර්මික එච්එම්යුඑස් බණ්ඩාර නාවිකයාගේ පවුලේ සාමාජිකයින් වෙත ‘නැවිරු සවියෙන්’ රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්
 

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරි‍යේ නිරතව සිටියදී හදිසි අනතුරකින් වියෝ වූ ඉංජිනේරු කාර්මික එච්එම්යුඑස් බණ්ඩාර යන නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ප්‍රදානය කරන ලදී. එයට අදාළ ප්‍රේශණපත් ප්‍රදානය කිරීම ඊයේ (ජුලි 06) කුරුණෑගල, පොතුහැර පිහිටි ඔහුගේ නිවසේ දී සිදු කෙරුණි. නැවිරු සවිය ව්‍යවස්ථානුකූලව එම මුදල් ඔහුගේ පියා වන එච්එම් රත්නායක බණ්ඩාර මහතා වෙත භාරදීම මෙහිදී සිදු කෙරිණි.

මෙම නාවිකයා 2014 වර්ෂයේ දෙසැම්බර් 03 වන දින ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවට එක්වී ඇති අතර, විවිධ නාවික ආයතනයන්හි රාජකාරී සිදු කර ඇති ඔහු, මිය යන විට‍ ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවට අනුයුක්තව රාජකාරී සිදු කර ඇත. හදිසි අනතුරක් හේතුවෙන් ඔහු මිය යන විට 25 වන වියේ පසු විය.

රජයේ නොවන අරමුදලක් ලෙස නාවික පුද්ගලයින් ගේ රක්ෂණාවරණයක් ලෙසින් පවත්වාගෙන යනු ලබන නාවික හමුදා ˝නැවිරු සවිය˝ සුවසහන රක්ෂණ අරමුදල, නාවික හමුදාධිපතිතුමන්ගේ සෘජු අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබයි. අරමුදලේ සාමාජිකයෙකුගේ හෝ ඔවුන්ගේ ළඟම ඥාතීයෙකුගේ මරණයකදී, බරපතල රෝගාබාධයකදී, සදාකාලික හෝ අර්ධ දුබලතාවයකදී, සාමාන්‍ය රෝග තත්වයන් වලදී, ශල්‍ය කර්මයකදී මෙන්ම වෛද්‍ය පරීක්ෂණයන් හිදී මෙමගින් ඔවුන් වෙත රක්ෂණ වන්දි ප්‍රදානය කිරීම සිදු‍වේ.