සුරියවැව, මීගහයදුර ප්‍රදේශයෙහි ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් එක් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් සුරියවැව, මීගහයදුර ප්‍රදේශයෙහි අද (09) ජනතා අයිතියට පත් කෙරුණි.

නාවික හමුදාධිපතිතුමාගේ මෙම සංකල්පය මගින් වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානිය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව මහත් පරිශ්‍රමයක් දරමින් සිටි. මෙම ජල පිරිපහදු යන්ත්‍රය කොළඹ ගංගාරාමය විහාරස්ථානය මගින් කොළඹ රෝටරි සාමාජයේ (Rotary club of Colombo center) මුල්‍ය දායකත්වය යටතේ ස්ථාපිත කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ පවුල් 450 කට සිය පානීය අවශ්‍යතාවය ලබා ගැනීමට හැකියාව උදා වනු ඇත. එමෙන්ම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මගින් දිනකට පිරිසිදු පානීය ජලය ලීටර් 10,000 ක් ලබා ගැනීමේ හැකියාව ද පවතී.

නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙම ජල පිරිපහදු යන්ත්‍රය නිෂ්පාදනය කර ඇති අතර, මේ දක්වා මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 228 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපනය කර පවුල් 108,435 කට හා පාසැල් දරු දැරියන් 80,185 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය ලබා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජලපිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.