නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ ගොඩනැගිල්ල නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ
 

වැලිසර නාවික කඳවුරේ ස්ථාපිත කරන ලද නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ ගොඩනැගිල්ල නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් අද (ජූලි 12) විවෘත කෙරිණි.

වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්විමෙන් අනතුරුව එතුමාගේ මගපෙන්වීම යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකක මූලික කර ගනිමින් සමාජ සත්කාරක වැඩසටහන් කිහිපයක් ආරම්භ කරන ලදී. ඒ අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ ප්‍රධානියා වශයෙන් කපිතාන් (ඉංජිනේරු) ප්‍රියංකර දිසානායක මහතා කටයුතු කරනු ලබයි. එතුමා, තම ඉංජිනේරු දැනුම යොදා ගනිමින් අනෙකුත් නාවික පුද්ගලයින් සමග එක්ව ඉතා අඩු පිරිවැයක් දරමින් උසස් මට්ටමේ ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් නිෂ්පාදනය කරන ලදී.

එහි පළමු අදිරය යටතේ මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 11 ක් ආවරණය වන පරිදි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 230 ක් සහ වෛද්‍ය ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ස්ථාපිත කර එමගින් පවුල් 107,510 කට සහ පාසල් දරු දැරියන් 80,185 කට පිරිසිදු පානීය ජලය නොමිලේ නොකඩවා ලබා දීමට කටයුතු කරමින් සිටී. මෙම කර්තව්‍ය සිදු කරගෙන යාමේදී ජල පිරිපහදු යන්ත්‍ර නඩත්තු කිරිම, අඵත්වැඩියා කිරිම සහ ජල නියැදි පරික්ෂා කිරිම යන කාර්යයන් සඳහා වැඩපළක සහ පරික්ෂණාගාරයක අවශ්‍යතාවය පැන නැගිණි. ඒ අනුව අද දින (12) විවෘත කරන ලද මෙම පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් දිවයින පුරා ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍ර නඩත්තු කිරිම, අළුත්වැඩියා කිරිම සහ ජල නියැදි පරික්ෂා කිරිම සිදු කරනු ලබයි.

නවතම තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කරගනිමින් නාවික හමුදාවේ පවතින හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීම සඳහා නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිදුකරන මෙම කාර්යභාරය පිළිබඳව එහිදී නාවික හමුදාධිපතිතුමන් කපිතාන් ප්‍රියංකර දිසානායක මහතා ඇතුළු පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ නාවික පුද්ගලයින් හට සිය කෘතවේදීත්වය පළ කරන ලදී. මෙම අවස්ථාව සඳහා, බටහිර නාවික විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා, අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් රැසක් ද සහභාගී වී සිටියහ.